ඕල්කට්‌ තුමා
 

1832 වර්ෂයේ අගෝස්‌තු දෙවැනි දින ඇමෙරිකාවේ පර්සි ප්‍රදේශයේ ඉපිද වෘත්තීන් කිහිපයකම නියැලුණු ඕල්කට්‌ තුමා ලංකාවට පැමිණියේ 1880 මැයි 17 වෙනි දා ය.

ඒ 1873 අගොස්‌තුවේ දී ලංකාවේ ඇති වූ පානදුරා වාදය පිළිබඳ පොතක්‌ කියවන්නට ලැබීමෙන් බුදු දහම කෙරේ පැහැදුන සිතිනි. ගාලු වරායෙන් ලංකාවට පැමිණි ඕල්කොට්‌ තුමා මීගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් බැහැදැක ගති.


සිංහල කම සමඟ අහිමි වී යන බෞද්ධ කම සියැසින් ම දුටු මෙතුමා මෙරට බොදුනුවන් ට එල්ල වී ඇති අභාග්‍ය සම්පන්න උදාව ට පිළිවදනක්‌ ම වූයේ ය. හික්‌කඩුවේ සුමංගල හිමියන් ගේ අනුශාසනා ලබමින් අනගාරික ධර්මපාලයන් හා බැදෙමින් මෙරට නව ප්‍රබෝධයක්‌ ඇති කිරීමෙහි ලා සමත්විය.

පිරිහී ගිය බෞද්ධ අධ්‍යාපන ක්‍රමය නැවත පුබුදුවමින් 1889 වර්ෂයේ දී කොළඹ පරම විඥානාර්ථ සමාගම ආරම්භ කෙළේය. බුදු දහමේ පෝෂිත තත්වයන් කියා පෑමට "සරසවි සඳරැස" නමින් පුවත් පතක්‌ ද එළි දක්‌වමින් බෞද්ධ පාසල් ඇතිකිරීමෙහි යෙදිණ.

කොළඹ ආනන්ද මහා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය මෙතුමා ගේ දැඩි කැපවීමේ ප්‍රථිපල ය. සුදු ජාතිකයෙකු වුව ද හෙළයකු සේ සිංහල ජාතියේ උන්නතිය වෙනුයෙන් ම කටයුතු කළ කර්නල් හෙන්රි ඔල්කොට්‌ තුමා හික්‌ඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා එක්‌ව බෞද්ධ කොඩිය ද නිර්මානය කිරීමට දායක විය.

විදේශයන් තුළද සත්‍ය වූ බුදු දහම ප්‍රචලිත කිරීමෙහි යෙදිණ. 1907 පෙබරවාරි 11 වෙනි දින ඉන්දියාවේ අද්යර්හි දී සදහටම මෙතුමා මෙලොවින් සමුගත ද වෙසක්‌ පෝය දින රජයේ නිවාඩු දිනයක්‌ කිරීමෙන් ද මෙතුමා ගතකල අභිමානවත් ජීවිතය අමරණිය සිහිවටනයක්‌ ම වන්නේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017