උක්ත ආඛ්‍යාත සම්බන්ධය II
 
11. අතීත හෝ වර්තමාන හෝ කෘදන්ත පදයකට මුලින් යෙදෙන කර්තෘ පදය අනුක්ත වේ.

i. අකීකරු දරුවකු වූ දඟදාස පසුව යහපත් ළමයෙක් විය.
ii. ලේඛකයකු වූ ඔහු දක්ෂ ගායකයෙක් ද විය.
iii. දඟකාර දරුවකු ව සිටි ඔහු යහපත් දරුවකු වී පාසලින් පිට විය.
iv. දක්ෂ ගායිකාවක වී සිටි සුනිලා  සිල්මාතාවක වී ජීවිතයේ සෙදෑ සමය සතුටින් ගෙවුවා ය.
v. ළමයින් ශාරීරික අභ්‍යාසවලට යනවා මම දුටිවෙම.
vi. දරුවන් විනීත ව හැසිරෙනවා නම් හොඳයි.
vii. අප මිහිරි හඬින් ගැයුවේ නම් ශ්‍රාවකයෝ සතුටු වෙති.

12. කර්මකාරක වාක්‍යයක "විසින්" යන නිපාතයට පෙර යෙදෙන කර්තෘ අනුක්ත විය යුතු ය. මෙහි දී කර්මය උක්ත වේ. ක්‍රියා පදය ඒ අනුව තිබිය යුතු ය.

i. ගුරුවරුන් විසින් දරුවෝ යහමඟ යැවෙති/යවනු ලැබෙති/යවනු ලබති
ii. දෙමවුපියන් විසින් දරුවෝ පෝෂණය කෙරෙති/කරනු ලැබෙති/කරනු ලබති
iii. සේවකයන් විසින් යෝජනා ඉදිරිපත් කෙරේ/කෙරෙයි/කරනු ලැබේ

13. සමග, කැටුව, වැනි, සඳහා, පිණිස, මෙන්, සේ, ලවා ආදී පද මුලට යෙදෙන කර්තෘ අනුක්ත වේ.

i. දෙමව්පියන් සමග දරුවෝ පාසල් යති.
ii. ගරුතුමිය ළමයින් කැටුව විද්‍යාගාරයට ගියා ය.
iii. ළමයින් සඳහා ලියැවුණු පොත් රාශියක් ඇත.
iv. දෙවියන් වැනි මිනිස්සු අප අතර වෙති.
v. දුව නිළියක මෙන් සැරසී පැමිණියා ය.
vi. තා ගොයකු සේ බඩගා නො යව.
vii. ගුරුතුමිය සිසුන් ලවා පාඩම් කියවයි.

14. ප්‍රශ්නාර්ථයේ "ද" නිපාතය සමග ප්‍රාණවාචී නාමපදයක් සම්බන්ධ වන විට කර්තෘ උක්ත රූපයෙන් සිටී.

i. මේ දරුවෝ අනාගත පුරවැසියෝ ද?
ii. රටේ නායකයෝ අපි ද?
iii. හේ/ඔහු ලේඛකයෙක් ද?
iv. සියලු සංහලයෝ සැදැහැවත් බෞද්ධයෝ ද?

15. නාම ආඛ්‍යාත යෝගයේ දී ආඛ්‍යාතයේ යෙදීමක් නැත. වාක්‍යයේ අවසාන නාම පදය ම ආඛ්‍යාත කාර්යය ඉටු කරයි. මෙබඳු තැන් වල ය/යි නිපාත ද යෙදේ.

i. හෙතෙම දක්ෂ පාලකයෙක්/ය.
ii. ගුණපාල ක්‍රීඩාවේ ශූරයෙක්/ය.
iii. ගුරුතුමා ඉතා උගතෙක්/ය.
iv. මේ පන්තිය භාර ගුරුවරයා මම ය/යි.

16. අවින්ශ්චිතාර්ථය

අවින්ශ්චිතාර්ථය දැනවීමේ දී වාක්‍යයේ ක්‍රියාපදය අවසානයට 'වි' නිපාතය යෙදේ. කර්තෘ අනුක්ත රූපයෙන් සිටී.

i. අපේ මිතුරන් තරගයෙන් ජය ගනීවි.
ii. හරකුන් වත්තේ තණ කාවි.
iii. ඔබ වනයේ අතරමං වේවි.
iv. ගුරුවරුන් සිසු දරුවන්ට යහමඟ පෙන්වාවි.

17. ශ්‍රැතිසූචනාර්ථය

ශ්‍රැතිසූචනාර්ථය හැඟවීමේ දී කර්තෘ උක්ත ස්වරූපයෙන් යෙදේ. මෙහි දී ශ්‍රැතිසූචනය යන ඇසූ දෙයක් හැඟවීම ය. ල, ලු ප්‍රත්‍යය මෙහි දී යෙදේ.

i. ඔවුහු නළුවෝ ලු.
ii. ඈ දක්ෂ නිළියක් ලු.
(c) Shilpa Sayura Foundation 2006-2017