විභක්ති
  විභක්ති යනු බෙදා දැක්වීම යන්නයි. නාම පද විවිධ අදහස් ගෙනෙන ශබ්ද වලට බෙදා දැක්වීම මෙහි දී සිදුවේ. එහි දී සිදුවන්නේ නාම පදයේ මුල් අවස්ථාව හෙවත් නාම ප්‍රකෘතියට විභක්ති ප්‍රත්‍ය එකතු වී විවිධ අර්ථ ගැන්වීමයි.

සිංහල භාෂාවේ විභක්ති නවයකි.
1. ප්‍රථමා විභක්තිය 2. කර්ම විභක්තිය 3. කර්තෘ විභක්තිය
4. කරණ විභක්තිය 5. සම්ප්‍රදාන විභක්තිය 6. අවධි විභක්තිය
7. සම්බන්ධ විභක්තිය 8. ආධාර විභක්තිය 9. ආලපන විභක්තිය
.............................
* ප්‍රථමා විභක්තිය
වාක්‍යයක උක්තය හෙවත් කර්තෘ ප්‍රථමා විභක්තියෙන් තබනු ලබයි. කර්තෘකාරක වාක්‍යයක උක්ත කර්තෘ ප්‍රථමාවෙන් තබන අතර කර්මකාරක වාක්‍යයක නම් උක්ත කර්මය ප්‍රථමා විභක්තියෙන් තබනු ලබයි.

කර්තෘකාරක වාක්‍යය - මිනිසා මුවන් මරයි.
කර්මකාරක වාක්‍ය - මිනිසා විසින් මුවෝ මරනු ලබති.
..........................
* කර්ම විභක්තිය
යම් වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය හෙවත් කර්මය කර්ම විභක්තියෙන් තබනු ලබයි. 
*ඇමතිවරයා ලේකම්වරුන් පත්කරයි.
* ගුරුවරු පොත් බලති.
..........................................................
* කර්තෘ විභක්තිය
යම් වාක්‍යයක අනුක්ත කර්තෘ යොදනු ලබන්නේ කර්තෘ විභක්තියෙනි. කර්මකාරක වාක්‍යවල දී "විසින්" යන නිපාතයට යොදා වාක්‍යයේ කර්තෘ අනුක්ත කරනු ලබයි.
* සිංහයා විසින් මුවා මරනු ලබයි.
* සිංහයන් විසින් මුවෝ මරනු ලබති.
......................................................
* කරණ විභක්තිය
කර්තෘගේ ක්‍රියාව කිරීමට උපකාර වන පදය කරණ විභක්ති ගනියි. හේතුකොටගෙන, කරණකොටගෙන යන තේරුම් මෙම විභක්තියෙන් ප්‍රකාශ කරයි.
* ළමයා බයිසිකලයෙන් යයි.
* ළමයි පෑන්වලින් අකුරු ලියති.
.............................................
* සම්ප්‍රදාන විභක්තිය
යම් වාක්‍යයක යමක් ලබන්නා හැඳින්වීම සඳහා යොදන පදය සම්ප්‍රදාන විභක්ති ගනියි.
* අම්මා දරුවාට කිරි දෙයි.
* අපි යාචකයන්ට දන් දෙමු.
පිණිස, සඳහා ආදී නිපාත පද යෙදීමෙන් ද සම්ප්‍රදාන විභක්ති අර්ථය ඇති පද සකස් කළ හැකිය.
මම විභාගය සඳහා පාඩම් කරමි.
...........................................................
* අවධි විභක්තිය
යම්කිසි සීමාවකින් වෙන්වීමක්, ඉවත් වීමක් පෙන්නුම් කිරීම සඳහා භාවිත කරනු ලබන පදය ඇතුළත් විභක්තිය අවධි විභක්තිය යි.
* අහසෙන් වැස්ස වැටෙයි.
* මම ඔබගෙන් වෙන්වෙමි.
................................................
* සම්බන්ධ විභක්තිය
යම් අයිතියක්, හිමිකමක්, සම්බන්ධකමක් හඟවන පදය සම්බන්ධ විභක්තියෙහි යෙදෙයි. එය යම් කෙනෙකුගේ හෝ යම් දෙයක අයිතියක් විය හකියි.
* ශිෂ්‍යයාගේ පොත පිරිසිදු ය.
* තරුණියගේ පැහැය රන්වන් ය.
...........................................................
* ආධාර විභක්තිය
යම් දෙයක් හෝ යමක් පැවතීමට දරා ගැනීමට ආධාර වන පදය ආධාර විභක්ති අර්ථ ගනියි. 
* කුරුල්ලෝ කූඩුවෙහි වාසය කරති.
* ගොවියා පැලෙහි වසයි.
........................................................................
* ආලපන විභක්තිය
ආමන්ත්‍රණය කිරීම, ඇමතීම සඳහා යොදන පද ආලපන විභක්ති ගනියි.
* පුතේ ගෙදර එන්න.
* දුවේ හොඳට ඉගෙන ගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017