ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා
 

කැළණිය වරාගොඩ දොන් දානියල් ජයතිලක හා එළිසියානා වීරසිංහ ජයතිලක යන මවුපියන් ට දාව වර්ෂ 1868 පෙබරවාරි මස උපන් මෙතුමා ගේ මුල් නාමය දොන් බාරොන් ය. පසුව ශ්‍රී නාමයෙන් පිදුම් ලදමින් උපන් දේශයට ඉමහත් සේවයක්‌ සැලසීය.

රත්මලානේ ධර්මාලෝක ස්‌වාමින් වහන්සේගෙන් මුල් අකුර කළ ජයතිලක මැතිතුමා, ඉගෙනීමෙහි ඉතා දක්‌ෂ විය. ජාතික සංස්‌කෘතිය පිරිහෙමින් තිබූ යුගයෙක බෞද්ධ පුනර්ජීවය ට උර දෙමින් මෙතුමා ඕල්කට්‌ තුමා සමඟ එක්‌ව බෞද්ධ පාඨශාලා අරඹමින් දහම් පාසල් විභාග පවත්වමින් හා බෞද්ධාගමික සමිති තුළින් ද පොත පත මුද්‍රණය කෙරෙමින් ද සාමාන්‍ය ජනයාට ධෛර්ය දුන්නේ ය.

මහනුවර ධර්මරාජ විද්‍යාලීය මුල් පුටුව හොබවමින් එම පාසලේ දියුණුවට මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තනතුරේ සිටිමින් එම විද්‍යාලයේ
දියුණුවට ද කටයුතු කෙළේය.

1883 වර්ෂයේ විවාහය ට පත් සර් ඩී.බී. ජයතිලක මැතිතුමා පසු කලෙක අධිනීතිඥ වරයෙකු වශයෙන් ද ඉනුත් නොනැවතී සියරට දේශපාලන දියුණුව අපෙක්‍ෂාවෙන් පිහිටුවා ගත් ලංකා ජාතික සංගමයේ සභාපති ධූරය දරමින් ව්‍යවස්‌ථාදායක සභාවට කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් තරඟ කොට තම අසුන ද ජයගත්තේ ය.

මෙලෙස රට ජාතිය ආගම වෙනුයෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා 1944 මැයි මස 31 දින අභාවය ට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017