උක්ත ආඛ්‍යාත සම්බන්ධ නීති 1
 

1. උක්තය හා ආඛ්‍යාතය අතර යෝග්‍යතාවක් පැවතීම අනිවාර්ය වෙයි.

2. උක්ත පදය නිතර ම උක්ත රූපයෙන් හෙවත් ප්‍රථමා විභක්තියෙන් තිබිය යුතු වේ.

3. උක්තයේ වචන භේදය හා පුරුෂ භේදය අනුව ආඛ්‍යාතය තිබිය  යුතු ය.

 

1. උක්තය ප්‍රාණවාචී ඒකවචන නම්, ආඛ්‍යාතය ද ඒකවචන විය යුතුය.

උක්තය ප්‍රාණවාචී බහුවචන නම්, ආඛ්‍යාතය ද බහුවචන විය යුතු ය.

* ළමයා පාඩම් කරයි.

* ළමයි පාඩම් කරති.


2. උක්තය උත්තම පුරුෂ වේ නම්, ආඛ්‍යාතය ද ඊට අනුරූප විය යුතු ය.

* මම හොඳින් උගනෙමි.

* අපි හොඳින් උගනිමු.



3. උක්තය මධ්‍යම පුරුෂ වේ නම්, ආඛ්‍යාතය ද ඊට අනුරූප විය යුතු ය.

* නුඹ හොඳින් ඉගෙන ගන්නෙහි?

* නුඹලා හොඳින් ඉගෙන ගන්නෙහු.



4. උක්තය ප්‍රථම පුරුෂ වේ නම්, ආඛ්‍යාතය ද ඊට අනුරූප විය යුතු ය.

* ඔහු/හේ/ඕ හොඳින් ඉගෙන ගනියි.

* ඔවුහු හොඳින් ඉගෙන ගනිති. (පුරුෂ භේදය)

* ගොවියා කුඹුරේ ගොයම් කපන්නේ ය.

* ගෙවිලිය ගෙදර දවල් බත පිළියෙල කරන්නී ය.



5. උක්තය අප්‍රාණවාචී ඒකවචන වුවත්, බහුවචන වුවත්, ආඛ්‍යාතය ඒකවචන වේ. 

* තාරකාව අහසේ බබළයි.

* තාරකා අහසේ බබලයි.

* ගස සුළඟට සෙලවෙයි.

* ගස් සුළඟට සෙලවෙයි.



6. අප්‍රාණවාචී උක්තයට "ඕ" "හු" යන ප්‍රාණවාචී ප්‍රත්‍යය යෙදූ විට, ආඛ්‍යාතය බහුවචන වේ.

* තාරකාවෝ අහසේ බබළති. (තාරකා + ඕ = තාරකාවෝ)

* ගස්හු සුළඟට සෙලවෙති. (ගස් + හු = ගස්හු)


7. සමූහාර්ථවාචී පදයක් අප්‍රාණවාචී පදයක් සමඟ යෙදී උක්ත වූ විට, ආඛ්‍යාතය ඒකවචන වේ.

රැළ - පෙළ - කැල - මුළ - ගණ - පිරිස - රංචුව

පොකුර - කණ්ඩායම, යනාදිය සමූහාර්ථවාචී පද වේ.

* ගස් පෙළ සුළඟට සෙලවෙයි

* තරු කැල අහසේ බබළයි.



8. සමූහාර්ථවාචී පදයක් ප්‍රාණවාචී නාමයක් සමඟ යෙදී උක්ත වූ විට, ආඛ්‍යාතය බහුවචන වේ.

* ළමා පෙළ ක්‍රීඩා කරති.

* සියොත් කැල අහසේ සැරි සරති.

* බිඟු රළ මලින් මලට යති.

* සොර මුළ වනයේ සැරි සරති.



9. ඇතැම් සමූහාර්ථවාචී පද ඒකකයක් ලෙස අර්ථ ප්‍රකාශනයේ යෙදෙන විට එහි ආඛ්‍යාතය ඒක වචන හෝ බහුවචන හෝ වශයෙන් තබනු ලබයි.

* විරුද්ධ පක්ෂය නැගිට යයි/යති.

* සාම මණ්ඩලය රැස්වෙයි/රැස්වෙති.

* බෞද්ධ ලෝකයා සතුටට පත්වෙයි/පත්වෙති.



10. ආශිර්වාදයක් හෝ ප්‍රාර්ථනාවක් හඟවන ආඛ්‍යාතයක් යෙදෙන විට, උක්තය ප්‍රථමා විභක්තිය ගනී.

* අපක්ෂපාති නායකයෙක් පහළ වේවා!

* සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

* මම නිදුක් වෙම්වා!

* අපි නිදුක් වෙමුවා!

* නුඹ නිදුක් වෙහිවා!



11. අධ්‍යාහාර වශයෙන් ආඛ්‍යාතය ගත යුතු තන්හි, උක්තය උක්ත ස්වරූපයෙන් ම යෙදේ. ආඛ්‍යාතය අධ්‍යාභාරයෙන් ගැනීම යනුවෙන් අදහස් කෙරන්නේ  පැහැදිලි ආඛ්‍යාතයක් පෙනෙන්නට නැතත්, එම අදහසේ අඩුවක් නොමැති ව වාක්‍ය ඉදිරිපත් කිරීමයි.


* මෙවර දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවෙනි.

* අපි විනීත දරුවෝ (වෙමු)

* මම දක්ෂ ගුරුවරියක් (වෙමි)

* ඔහු ලේඛකයෙක් (වේ)

* ඈ නිළියක් (වේ)



නිත්‍ය බහුවචන පද



12. නිත්‍ය බහුවචන පදයක් උක්ත වූ කල්හී ආඛ්‍යාතය ද බහුවචන වේ. අයෙක්, කෙනෙක්, සමහරෙක්, ඇතැමෙක්, අය, කවුරු, ඇතැම්හු යන පද නිත්‍ය බහුවචන වේ. 

* සමහරෙක් ඉතා උනන්දුවෙන් ඉගෙන ගනිති.

* ඇතැමෙක් නිකරුණේ කාලය ගත කරති.

* කෙනෙක් එදින රැස්වීමට නො පැමිණියහ.


13. නිත්‍ය බහුවචන පද ඇතැම් විට ඒකාර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා පැහැදිලිව යෙදීමේ දී ආඛ්‍යාතය ඒකවචන වේ.

i. එක් කෙනෙක් හොඳින් ඉගෙන ගනියි.

ii. ක්‍රීඩා කණ්ඩායමෙන් එක් අයෙක් ඉල්ලා අස් වෙයි.

iii. පන්ති කාමරයේ කිසිවෙක් නො සිටියේ ය.

14. ගෞරවාර්ථ ප්‍රත්‍ය සහිත පද උක්ත වූ කල්හී ආඛ්‍යාතය බහුවචනයෙන් යෙදේ. ගෞරවාර්ථ ප්‍රත්‍ය ලෙස සැලකෙන්නේ ආණ, අණු, අණි, ආදියයි. වහන්සේ, පා, ආදී පද ද ඕ, හු ආදී ප්‍රත්‍ය ද ගෞරවාර්ථ හැඟවීම සඳහා නාම සමඟ යෙදේ. "වහන්සේ" සමඟ "සේක" යන්න ද "දෑ" යන්න සමඟ "දෑ ය" යන්න ද ආඛ්‍යාතය සඳහා යෙදේ.

i. තෙරණියෝ ආරාමයට වඩිති.

ii. ස්වාමීන් වහන්සේ දම් දෙසූ සේක/දෙසූහ.

iii. මෑණියන් දෑ අප වෙනුවෙන් වෙහෙසෙන දෑ ය/වෙහෙසෙති.

iv. පියාණෝ අපට ඔවදන් දෙති.

v. තෙර පා සමවත් සුවයෙන් වැඩ වෙසෙති.

vi. නාහිමියෝ වෙහෙරට වඩිති.

vii. ගුරිළුගෝමීහු අමාවතුර ලියූහ.


15. තෙමේ, තුමු පද භාවිතය

"තෙමේ" යන්න පුරුෂ ලිංග ඒකවචන ද "තොමෝ" යන්න ස්ත්‍රීලිංග ඒකවචන ද වේ. "තෙමේ/තොමෝ" යන දෙකෙහි බහුවචනය "තුමූ" වේ.

i. ඒ තෙමේ ගමට ගියේ ය.

ii. ඕ තොමෝ ගමට ගියාය.

iii. සභා තොමෝ විසිර ගියාය.

iv. ඔවුහු තුමූ ගමට ගියහ.


16. ද්විත්ව උක්තය

ද්විත්ව උක්තයේ උක්ත දෙකක් ඇත. එක උක්තයක් ආඛ්‍යාත පූරණය ලෙසඅ ද යෙදී ඇත. උක්තයෙන් කියැවෙන දෙය නැවත වරක් ප්‍රකාශ වේ නම් එය ද උක්ත ස්වරූපයෙන් තැබිය යුතු ය.

i. අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු.

ii. ළමයි පස් දෙනෙක් එතෙර සංචාරයක යෙදුණහ.

(c) Shilpa Sayura Foundation 2006-2017