අලුත් සහල් මංගල්‍යය
 
19 වන සියවසේ මුල දී, ජාතික උත්සවයක් ලෙසට අලුත් සහල් මංගල්‍යය ආරම්භ වී ඇත. මෙහි අවස්ථා තුනක් තිබී ඇත.

1. අලුත් සහල් ගෙන ඒමට ගුරුදෙණියට පිටත් වීම.
2. අලුත් සහල්, වී ගබඩාකිරීම.
3. අලුත් සහල් දානය පූජා කිරීම.
                       ආදී වශයෙනි.
...................................................................................

ඉතා ඈත කාලයේ සිටම දළදා මාළිගාවේ සිදුකරන විශේෂ පූජාක්‍රම රාශියකි. 
* නානුමුර මංගල්‍යය.
* අලුත් සහල් මංගල්‍යය.
* පෙරහැර මංගල්‍යය, ඒ අතරින් ප්‍රධාන ය.

මිනිසා ගොවිතැන ජීවනෝපාය කරගත් දා සිටම ආගමික ප්‍රතිපත්ති හා චාරිත්‍ර වාරිත්‍ර අනුසාරයෙන් ගොවිතැන පිළිබඳ සංස්කෘතික සම්ප්‍රදායක් බිහි විය. ඒ අනුව බෞද්ධ ගොවියා කුඹුරෙන් හෝ හේනෙන් හෝ ලබාගත් ධාන්‍යවලින් මුල් කොටස බුදු පුදට හෝ දෙව් පුදට වෙන් කළේ ය.

ශ්‍රී දළදා මාලිගාවේ නානුමුර මංගල්‍යයට අමතර ව, සෑම දුරුතු පෝයට ම අලුත් සහල් මංගල්‍යය පැවැත් වේ. අලුත් සහල් ගෙට ගැනීම එහි අදහසයි. මේ මංගල්‍යය, ක්‍රි.ව. 1707-1739 රජ කළ, නරේන්ද්‍රසිංහ රජු විසින් ආරම්භ කරන ලද බව පැවසේ. මෙය අග්‍රශස්‍ය හා අගසස් දානය ලෙස ද හැඳින්වේ. එසේ ම, අලුසාල් මංගල්‍යය, අලුසල් මංගල්‍යය ලෙස ද නම් කෙරේ. 

එකල මහනුවර දළාදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය, චාරිත්‍ර සිදුවූයේ ගුරුදෙණිය කෙතෙහි හා ඒ අවට ගබඩා කළ වී අටු ආශ්‍රිතව ය. මහවැලි යෝජනා ක්‍රමයෙන් එම අටුව පිහිටි භූමිය ජලයෙන් යටවිය. වර්තමානයේ එය කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, රජයේ ඉඩමක පිහිටුවා ඇත.
දළාදා මාලිගාවට වාර්ෂිකව ලැබිය යුතු සම්බා සහ වෙනත් වී සහල් අස්වැන්න තැන්පත් කරනුයේ මේ අටුවේ ය. සහල් බෙදීමේ චාරිත්‍රය දැන් මෙහි සිදුකෙරේ.

මේ උත්සවය අවස්ථා තුනකින් සමන්විත ය. 
පළමුව නැකැත් මොහොට්ටාල නැකැත් පත්‍රයක් සූදානම් කරයි. කපුරාල, වන්නකපුරාලකට්, කට්ටියානෙරාල, වියන් අල්ලන්නන්, මුතුකුඩකරු, හොරණෑකරුවන්, දවුල් තම්මැට්ටම් වයන්නන් යනාදීන්ගෙන් සමන්විත පෙරහැර මාළිගාවට පැමිණෙයි. නැකැත් පත්‍රයේ දක්වා ඇති සුබ නැකතට දළදා මාලිගාවේ සුභ නැකැතට දියවඩන නිලමේතුමා, කාරියකරවනරාල, දළදා මාලිගාවේ ලේකම් මහතා, වට්ටෝරුරාල, නාථ,විෂ්ණු, කතරගම, පත්තිනි දේවාලවල කපුරාලවරු යන මොවුහු කුණ්ඩසාලේ අටුව කරා යති.

දෙවනුව සිටින විදානේවරු පෙරට පැමිණ, ඔවුන් පිළිගෙන, පෙරහැර ගබඩාව කරා කැඳවාගෙන යති. මෙහි දී විදානේ හා ගමරාලලා හත් දෙනෙක් දියවඩන නිලමේතුමාට බුලත් හුරුලු පිළිගන්වා, සහල් අස්වනු අටුව වෙත පැමිණෙන ලෙස ආරාධනා කරති. 
පාවාඩ මතින් අටුව කරා යන දියවඩන නිලමෙතුමා එහි දී තේ පැන්, බුලත්  ආදියෙන් සංග්‍රහ ලබයි. මෙහිදී ගමරාලලා හත් දෙනෙකු අඩුක්කු හැළි හතක් ද, ව්‍යංජන 30ක් ද, මේ ස්ථානයට ගෙන ආ යුතුය. දළදා මාලිගාවෙන් හා සතර දේවාල වලින් පෙරහැරට පැමිණි ජනයාට මේ ආහාර වලින් සංග්‍රහ කෙරෙයි. මෙයින් අනතුරුව දියවඩන නිලමෙතුමා සහ මාලිගාවේ සෙසු නිලධාරින් සහල් තැන්පත් කර තිබෙන ස්ථානයට යතිතෙවනුව, මාලිගාවේ අටුවේ මනින්නා ලේකම් විසින් කියවනු ලබන ලේඛනයට අනුව ඒ ඒ ස්ථානයට වී සහල් බෙදාදෙයි. පළමුව දළදා මාලිගාවට ද, ඉන්පසු පිළිවෙලින් විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාල  වලට ද, ඉන්පසු මල්වතු, අස්ගිරි විහාරවලට ද වී සහල් බෙදනු ලැබේ. නම් පොතේ පිළිවෙල අනුව, ගංගාරාමය, දෙගල්දොරුව, කුණ්ඩසාලේ ආදී දේවාල වලට ද වී සහල් බෙදනු ලැබේ. මෙසේ බෙදාදුන් අස්වැන්න හේමකදක තබා පෙරහැරෙන් රැගෙන යාම සිරිතයි..

මඟුල් බෙර වැයීමෙන් ද, හේවිසි වාදනයෙන් ද, ස්ත්‍රෝත ගායනාකිරීමෙන් ද අනතුරුව සතර දේවාලවල කපුරාලවරු අෂ්ටක කියති. තදනන්තර ව මොහොටිටාල ලේකම් මිටිය රැගෙන "දළදා මාලිගාවට සහල් නැලි තිහයි වී නැළි පහළොවයි" යනුවෙන් පවසයි. දියවඩන නිලමෙතුමා සහල් බෙදීමේ සංකේතයක් වශයෙන් රිදී නැළියෙන් චාරිත්‍රානුකූල ව මාලිගාවට වී සහල් බෙදීමෙන් මංගල චාරිත්‍රය අරඹයි. 

දුරුතු පුර පසළොස්වක පෝය දින, අලුත් සහලින් සේරු 80ක් ගෙන, ආහාර පිස, දළදා මාලිගාවේ "මහකිරිබොඬ" පාත්‍රයට පුරවා, ව්‍යංජන 32ක් හා අවුළුපත් සමග දළදා වහන්සේට පූජා කෙරේ. තවද, වී සහල් ලද දේවාල හා විහාරස්ථාන වල ද බුද්ධ පූජා පවත්වනු ලබයි. වී සහල් ලබාගැනීමට යම් ආයතනයක් නොපැමිණියහොත් ඒවාද දළදා මාලිගාව සතුවේ.
.........................................................................

අරුත් පැහැදිලි කිරීම

අග්‍ර කොටස - මුල් කොටස, උතුම් කොටස
අඩුක්කු හැළි - බුදුන්, දෙවියන් සඳහා ආහාර පිසින හැළි
අවුළුපත් - කැවිලි වර්ග
තදනන්තර ව - ඊට පසු
හේමකද - රත්තරන් කද (වාව්‍යාර්ථය) බුද්ධ පූජා, දේව පූජා පිණිස මෙන් ම රාජභෝජන පිණිස ද පිළියෙල කළ ආහාර ගෙන යෑමට භාවිත කළ කද
මහකිරිබොඬ පාත්‍රය - උඩරට  විහාරස්ථානවල ඇති මහා පාත්‍රයක නාමය (හාල් බුසල් කීපයක කිරිබත් අඩංගු කළ හැකිවේ.)
(c) Shilpa Sayura Foundation 2006-2017