එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.
දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්‍ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.
ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.
නන්දිමිත්‍ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.