ඵුස්සදේව
 

රුහුණු රට උපත ලැබීය. ඵුස නැකතින් උපන් නිසා ඵුස්සදේව ලෙස නම් තබන ලදී.

සත් හැවිරිදි වියේ විහාරයක පූජාවට තිබූ ශංඛයක් (හක්ගෙඩියක්) ගෙන පිම්බේය. මේ ශබ්දය ගව් ගණනක් පැතිරී ගිය අතර ඒ අසා සමීප වනයේ වසන සියළු සතුන් බියෙන් භ්‍රාන්ත වී බිම වැටුණි. අසල සිටි මිනිසුන්ද සිහි නැතිව වැටුණි. මින් පසු ඵුස්සදේව යෝධයා නමින් ප්‍රකට විය.

මොහුගේ වංශයේ බොහෝ කාලයක් තිස්සේ ධනු ශිල්පයක් පැවත එන අතර ඵුස්සදේව ගේ පියා ඔහුව මේ ශිල්පයේ ප්‍රගුණ කරවීය. දොලොස් හැවිරිදි වියේදී ධනු ශිල්පයේ ඔහු හා සමාන කෙනෙක් නැති විය. ශබ්දයට විදීම ආදී රහස් ශිල්ප ක්‍රමද හස්ති, අශ්ව ආදී ශිල්ප ගණනාවක්ද උගත්තේය.

පසුව කාවන්තිස්ස රජු විසින් ගෙන්වා ගන්නා ලදී. ගැමුණු කුමරුගේ ඉතාමත් විශ්වාසවන්තම යෝධයෙකු වූ ඔහු නිරන්තරයෙන් රජුගේ ආරක්ශාව සඳහා එතුමා අසළින්ම සිටි බව පෙනේ.

භල්ලුක සටන - එළාර රජු මරා දැමීමෙන් පසු ඔහුගේ බෑනා කෙනෙකු වන ධනු ශිපයට ප්‍රකට "භල්ලුක" ලංකාවට ගොඩ බැස කුළී සේනාවක් සමඟ ගැමුණු රජු හා සටනට ආවේය.

මෙහිදී කඩොලැතා බලාපොරොත්තු නොවූ ලෙස පසු බසින්නට වූ අතර (රජතුමා සිටියේ ඇතා පිට නිසා ඇතා සමඟ සියළු සේනාවම පසු බසින්නට විය ) ගැමුණු රජු ඵුස්සදේව අමතා මෙතරම් මහ සටන් වලදීත් පසු නොබැස සටන් කළ කඩොලැතා භල්ලුකගේ සේනාව හමුවේ පසු බසින්නේ ඇයිදැයි විමසා සිටියේය. මෙයට පිළිතුරු දෙන යෝධයා තමන් සිටින ස්ථානය ජය බිමක් නොවන නිසා ඇතා පසු බසින බවත් ජය බිමක් හමුවූ තැන ඔහු නතර වනු ඇති බවත් ප්‍රකාශ කළේය. පසුව මහා විහාර සීමාව අසළ ඇතු නතර විය.

මේ අවස්ථාවේ භල්ලුකයා ගැමුණු රජුගේ මුඛයට විදින්නට සිතා ඊතලයක් අමුණාගෙන මුඛයට ඉලක්ක කොට රජු ඇමතීය. ගැමුණු රජු පිළිතුරු දුන්නේ කඩුපතින් මුව වසා ගෙනය. භල්ලුක එල්ල කළ හීය කඩුවේ වැදී බිම වැටිණි. ගැමුණු රජතුමා එවිට කටේ තිබූ බුලත් විට බිමට දැමීය. තම ඉලක්කය නිවැරදි යයි සිතූ භල්ලුකයා ඔල්වරසන් හඬ පවත්වන අතර ඒ සිදුවීමෙන් කෝපයට පත් ඵුස්සදේව ඊතලයක් අතට ගන්නට වත් නොසිතා රජුගේ කුණ්ඩලාභරණය කඩා භල්ලුකයාගේ කටට විදිදේය.

මින් ක්ෂණිකව මරණයට පත් දෙමළ නායකයා බිම වැටෙන්නට ගියේ පිටුපසටය (එනම් ගැමුණු රජුගේ දිශාවට පය ලා ගෙනය ). මෙයද ගැමුණු රජුට අගෞරවයක් යයි සිතූ ඵුස්සදේව අනෙක් කුණ්ඩලාභරණයද කඩා භල්ලුකයාගේ පාදයකට විදිදේය. භල්ලුක බිම වැටුනේ ගැමුණු රජුගේ දිශාවට හිස ලා ගෙනය. කුලී සේනාව සටන් නොකොට පලා ගියේය.

නමුත් තමා කළ ක්‍රියාව ගැන පසුතැවිල්ලට පත් යෝධයා ඒ ක්‍රියාවට දඩුවමක් ලෙස තමන්ගේ කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වීය. රජතුමා දොම්නසට පැමිණ තමන්ගේ සතුරන් පැරදවීම සඳහා කළ ඒ ක්‍රියාවේ වරදක් නැති බව කියා ඊතල දෙකක් එකට අමුණා සිටුවා ඒවා වැසෙන තරම් මසුරන් ගොඩක් ත්‍යාග වශයෙන් ඵුස්සදේවට ලබා දුන්නේය.

(c) Shilpa Sayura Foundation 2006-2017