දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.
ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.
මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.
මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.
රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.
ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය
