කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.
ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.
දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.
අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය.
දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.
තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.
තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.