නිදහසෙන් පසු ආර්ථිකය
  නිදහස ලබන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පැවතියේ කෘෂිකාර්මික ආර්ථියකි. ජාතික ආදායමට වැඩි වශයෙන් දායක වුනේ තේ, පොල්, සහ රබර් වැනි වැවිලි බෝග ත්‍රිත්වයේ නිෂ්පාදනය සහ වෙළෙඳාමයි.

එසේම දස ලක්ෂ හතක් වු එවකට ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකාව රැදූ පැවැතියේ කෘෂිකර්මය මතය. මෙම වැවිලි බෝග වල සැකසුම් ද ඇතුළත් වූ වෙළෙඳ හා වාණිජ, බැංකු කටයුතු හා රක්ෂණ සහ ප්‍රවාහන හා නිෂ්පාදන යනාදි අර්ථිකෙහි අනෙකුත් අංශ රැසක කටයුතු ද වැවිලි අංශය මත රැඳී පැවතුණි.

ඒ අවධියේ ආනයන සහ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%කට පමණ දායක විය. 1948 දී අපගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 120ක් හෙවත් රු. 397 කි. සාමාන්‍ය වාර්ෂික උද්ධමනය 7% ක් පමණ විය. සේවා වියුක්තිය 11.9% ලෙස පැවතිණි. 1951 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය 6.2% ක් වූ අතර, 1951-55 අතර කාලයේ දී සාමාන්‍ය ආර්ථික වර්ධනය 4.3% ක් ද විය. එසේම 1950 සංඛ්‍යා ලේඛන අනුව එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂි අංශය 46.3කින් ද, කාර්මික අංශය 19.6කින් සහ සේවා අංශය 36.9කින් ද, දායක වී ඇත.

නිදහසින් පසුව එළැඹි තිස්වසරකින් අනතුරුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත දියුණුවේ කැපී පෙනෙන වෙනසක් ඇතිකරයි. කෘෂි ආර්ථිකය අභිබවා කාර්මික අංශයෙන් ආර්ථිකය වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. එසේම සංචාරක කර්මාන්තය ද ප්‍රධාන තැනත් ගනී.

1978 ඇතිකළ විවෘත ආර්ථික සංකල්පයත් සමඟ විදේශ ආයෝජන තුළින් හා සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය තුළින් ආර්ථික ප්‍රතිලාභ ලද හ. තේ අපනයනය, වී නිෂ්පාදනය හා අනෙකුත් කෘෂි නිෂ්පාදන ද කෙරෙයි. මීට අමතරව විදේශ රැකියා නියුක්තිකයන් මඟින් විදේශ විනිමය සඳහා ඉහල දායකත්වයක් ලැබේ. 

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු උදාවූ ස්වභාවික ආපදා, රටතුළ ඇති වූ කැරළි කෝළාහල සහ යුධමය තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ප්‍රහාරයක් එල්ල විය. 

නිවැරදි ආර්ථික සැලැස්මක් හෝ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට 1948 පසු බලයට පත් වූ දේශපාලන පක්ෂ අසමත් වීමෙන් ද රටේ ආර්ථිකය විශාල ලෙස පසුබෑමකට ලක්විය.

මුල්‍ය ආයතන

1950 දී පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව, රටේ මුල්‍ය පරිපාලන අධිකාරිය ලෙස කටයුතු කරයි. එහි ප්‍රධාන වගකීම වන්නේ රටේ උන්නතිය සඳහා වූ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා මුල්‍ය පද්ධතිය පාලනය සඳහා වූ බලය ක්‍රියාවට නැංවීමයි.

ශ්‍රි ලංකාවේ ප්‍රධානතම කොටස් වෙළඳපල වන්නේ කොළඹ කොටස් වෙළඳපලයි. එය දකුණු ආසියාවේ නවීනතම තාක්ෂනයෙන් යුත් කොටස් හුවමාරු පද්ධතියකින් සමන්විත කොටස් වෙළඳපල ලෙස හඳුන්වයි. කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රධාන ශාඛාව, 1995 වසරේ සිට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇති අතර මහනුවර, මාතර, කුරුණෑගල හා මීගමුව යන ප්‍රදේශයන්හි අනෙකුත් ශාඛා පිහිටුවා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017