වානේ භාණ්ඩ නිෂ්පාදනය
 

ශ්‍රී ලංකාවේ ලෝහ භාණ්ඩ නිපදවූ (ආයුධ වැනි) බව පිළිගත හැකි ය. ඒ සඳහා සීගිරිය, අලකොලවැව, බලංගොඩ ආදී ප්‍රදේශ වල තිබෙන යපස් නිධි ප්‍රයෝජනයට ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. අතීතයේ ධාරා උෂ්මක ක්‍රියා කරවීමට කඳු කපොලු අතරින් ගලා එන ස්වභාවික වායු ප්‍රවාහය යොදා ගෙන ඇත.

එකල පටන් ලෝහ භාණ්ඩ නිපදවන ආයතනය කම්හල නමින් හැඳින්වේ. කම්මල්කරුවා ඔහුට පරම්පරාවෙන් උරුම ශිල්පීය දැනුමෙන් ලෝහ භාණ්ඩ නිපදවයි. එහිදී කම්මල් ලිප ක්‍රයාකරවීමට "මයින හම" නැමැති අතින් ක්‍රියා කරවන වායු පොම්පය යොදා ගැණිනි. මයින හමට ආදේශකයක් ලෙස වර්තමානයේ විදුලියෙන් ක්‍රියා කරන පුඹුව (Blow) භාවිත කෙරේ.

1960 ගණන් වලදී ලෝහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඔරුවල පිහිටුමත් සමඟ කම්මල් තුළ මිනිස් ශ්‍රමයෙන් තැනූ වානේ උපකරණ විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය ඇරඹිණි.


කර්මාන්ත ශාලා තුළ (ශිල්පීය ක්‍රම හා යන්ත්‍ර සූත්‍ර භාවිතය පුහුණු වූ) සේවකයෝ නිෂ්පාදන කටයුතු වල නිරත වෙති. එම නෂ්පාදන කටයුතුවල දී උසස් විද්‍යාත්මක ශිල්පීය ක්‍රම අනුගමනය කරයි.

එහෙත් කම්මල්කරු නිෂ්පාදන දෝෂ හා තත්ත්ව පරික්ෂාවට ප්‍රාථමික ක්‍රම යොදා ගනී. කෙසේ නමුත් කම්මල්කරුගේ අත්දැකීම්, පාරම්පරික ශිල්ප ක්‍රම හා කුසලතා මත කෙරෙන බොහෝ නිෂ්පාදන සැලකිය යුතු මට්ටමක පවතී.


අතීතයේ දේශීය යපස් යොදා යකඩ හා වානේ භාණ්ඩ නිපදවා ගත්ත ද, පසුකාලීනව විදේශයෙන් ආනයන කෙරෙන වානේ යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනයට ගැණිනි. බොහෝ ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා විදේශයෙන් ආනයනය කරන වානේ වෙනුවට වර්තමානයේ ප්‍රතිචක්‍රීකරණය කළ වානේ ද යොදා ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017