ප්‍රජාව- Community
 පරිසරයක හමුවන තුන්වන මටිටම ප්‍රජාවයි.

٠ අඹ ශාක, කූඹී, කුරුල්ලෝ ආදී සියළුම ජීවී ගහන ප්‍රජාවට අයත් ය. යම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර් ක්‍රියා දක්වන ගහන සමූහයක් ප්‍රජාවවක් ලෙස හඳුන්වයි.
٠ ගහන අතර ආහාර, වාසස්ථාන හා ආරක්ෂාව වැනි අවශ්‍යතා සඳහා අන්තර් ක්‍රියා පවතී.

පරිසර පද්ධතිය-ecosystem
පරිසරයක හමුවන අවසාන මෙන් ම ස්ථායි ඒකකය යි.
٠ යම් ප්‍රදේශයක ජීවත්වන සියළුම ජීවී ප්‍රජාවන් හා ඒවා සමඟ අන්තර් ක්‍රියා දක්වන අජීවී පරිසරය ද එක් ව ගත්කළ පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ.

පරිසර පද්ධති වල තුල්‍යතාව පවත්වා ගැනීම
පරිසර පද්ධතියක පැවැත්ම සඳහා බලපාන සාධක
٠ පරිසර පද්ධතියක ජීවීහු අජෛව පරිසරය සමඟ අන්තර් සබඳතා පවත්වමින් ජීවත් වෙති.
٠ ජීවීන් අජීව පරිසරය මත ද, අජීව පරිසරය ජීවීන් මත ද බලපෑම් ඇති කරයි.

පරිසර පද්ධතියක පැවැත්ම කෙරෙහි ජෛව සාධක බලපාන ආකාරය
٠ පරිසර පද්ධතියක, ජීවීන්, නිෂ්පාදකයා, යැපෙන්නා හා වියෝජකයා ලෙස වර්ග කරයි.

නිෂ්පාදකයා :
٠ ස්වයං පෝෂී ජීවීන් වේ. තමාට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය තමා විසින් ම නිපදවා ගනිති.
٠ සූර්ය ශක්තිය රසායනික ශක්තියට පත්කිරීමට නිෂ්පාදකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය.
٠ ග්ලූකෝස් නිෂ්පාදනය ඔවුන්ගේ ප්‍රධාන ජීව ක්‍රියාවක් වේ.
٠ මෙහි ප්‍රධාන නිෂ්පාදකයෝ හරිත ශාකයන් ය.
٠ ජලජ පරිසරයේ ඇල්ගී ප්‍රමුඛයෝ ය.
٠ ස්වයංපෝෂී නොවන ජීවීන් ට පෝෂණය සපයන නිසා නිෂ්පාදකයෝ ජෛව ගෝලය පැවැත්මේ පදනම වන්නෝ ය.

යැපෙන්නා-consumer
නිෂ්පාදකයාගෙන් සෘජුවම හෝ වක්‍ර ව හෝ යැපෙන සියලුම සත්ත්වයන් ය.
“ජලජ පරිසරයේ ප්‍රධාන ම පළමු මට්ටමේ යැපෙන්නන් සත්ත්ව ප්ලවාංග වේ.”

වියෝජකයා-decomposer
٠ මළ ජීවීන් මත හා ජීවීන්ගේ අපද්‍රව්‍ය මත යැපෙන ජීවීන් වියෝජකයන් වේ.
٠ ඔවුන් මළ ජීවීන් හා අපද්‍රව්‍ය මත එන්සයිම ස්‍රාවය කර ඒවා ජීර්ණය කරයි.
٠ මෘතෝපජීවීන් වන දිලීර හා බැක්ටීරියා ප්‍රධාන ව්යෝජකයන් වේ.
٠ ඔවුන් මළ ජීවි දේහ දිරාපත් කිරීමෙන් සරල ද්‍රව්‍ය නැවත පරිසර පද්ධතියට එකතු කරයි.
٠ කුණු කසල ගිනි තැබීම, පසට තෙල්, වර්ණක හා රසායනික ද්‍රව්‍ය පසට එකතු කිරීම නිසා වියෝජකයින් ට බලපෑම් ඇතිවේ.
පරිසර පද්ධතියේ පැවැත්මට අජෛව සාධක වැදගත් මෙහෙයක් ඉටු කරයි. පස, ආලෝකය, උෂ්ණත්වය, තෙතමනය හා වාතය ප්‍රධාන අජෛව සංඝටක වේ.

පස
٠ කාබනික හා අකාබනික ද්‍රව්‍යය මිශ්‍රණයකි.
٠ ශාක වර්ධනයට මාධ්‍යයක් සපය යි.
٠ පසේ ප්‍රධාන අජෛවී සංඝටක හතරකි.
ඒවා නම්: ඛනිජ සංඝටක-කාබනික ද්‍රව්‍ය-පාංශු වාතය-පාංශු ජලය වේ.

ආලෝකය
٠ ජීවී ලෝකයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ දී හරිත ශාකවලට ශක්තිය සැපයෙන්නේ සූර්යාලෝකය මඟිනි.
٠ ආලෝක තීව්‍රතාව, ආලෝකයේ වර්ණය, ආලෝකය ලැබෙන කාලය අනුව ප්‍රභාසංස්ලේෂණය සිදුවන ප්‍රමාණය තීරණය වේ.

උෂ්ණත්වය
උණුසුම කෙරෙහි බලපාන ප්‍රධාන තාප ප්‍රභවය සූර්යයා වේ. උෂ්ණත්වය ද ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට බලපාන වැදගත් සාධකයකි. ජීවීන්ගේ පරිවෘත්තීයේ දී උෂ්ණත්වය අඩු වූ විට එන්සයිම ක්‍රියාකාරිත්වය අඩු වීමත්, උණුසුම වැඩි වූ විට ජෛව අණු වලට හානි සිදුවීමත් ජීවීන්ට හානිකර ලෙස බලපායි. භූ විෂමතාව,සෘතු භේදය හා දිවාකාලයේ ප්‍රමාණය අනුව උෂ්ණත්වය විචලනය වේ.

තෙතමනය
ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ජලය භෞමික පරිසර වල සීමිත සාධකයක් වේ.
විවිධ ශාක පසේ ජලය අවශෝෂණය කර ගැනීමෙන්. වර්ෂාව හිඟ වීමෙන්. අධික වාෂ්පීභවනය ආදී හේතු නිසා පසෙහි ජලය හිඟ වී තෙතමනය හීන වේ.

වාතය
ජෛව ගෝලයට අයත් ප්‍රධාන සංඝටකයකි. සූර්ය තාපයෙන් උණුසුම් වන වායු ගෝලය නිරන්තර ව කැළඹේ. වාෂ්පීභවනය වූ ජල වාෂ්ප වෙනත් තැනකට ගෙන යෑමටත්, වර්ෂාව ඇති වීමටත් වාතයේ කැළඹීම හේතු වේ. බීජ සහ බීජානු ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සාධකයක් සේම සල්ෆර් ඩයොක්සයිඩ් වැනි දූෂිත වායු ඉතා ඈත ස්ථාන වලට ගෙන යාමටත්, ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන වායුව ජීවීන්ට ලබාදීමට වාතය බෙහෙවින් ඉවහල් වෙයි.

මූලද්‍රව්‍ය චක්‍රීකරණය-recycling of elements
පරිසර මට්ටම් තුළ ශක්තිය පෝෂී මට්ටම් වෙත ගලා යයි. එක් එක් පෝෂී මට්ටම් වල දී ජීවීන් ලබාගන්නා ද්‍රව්‍ය යම් යම් ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නැවත පරිසරයට එක් වේ.

٠ කාබන්, නයිට්‍රජන්, සල්ෆර්, පොස්පරස්, කැල්සියම් ආදී මූලද්‍රව්‍යයන් ජීවීන්ගේ දේහ නිර්මාණයට ඉවහල් වෙයි.
٠ මෙම මූල ද්‍රව්‍ය පරිසරයෙන් ජීවීන් තුළටත් ජීවීන්ගෙන් නැවත පරිසරයටත් සංසරණය වීම මූලද්‍රව්‍ය චක්‍ර ලෙස හැඳින්වේ.
ජෛව ගෝලයේ පැවැත්මට මිනිසා විසින් ඇති කරන අහිතකර බලපෑම්
1. ජනගහන වර්ධනය
1830 පමණ වන තුරු ලෝක ජනගහනය බිලියන 1 පමණ විය. ස්වභාවික අනතුරු, ලෙඩ රෝග වැනි හේතු මත ජනගහනය වැඩිවීම පාලනය විය. නමුත් මෙයින් ශතවර්ෂ දෙකකට පමණ පෙර ඇති වූ කාර්මික විප්ලව හා විද්‍යාවේ දියුණුවත් සමඟ මෙය වෙනස් විය. මෙහි ප්‍රතිඵලය වූයේ 1830න් පසු ජනගහන වර්ධනය වෙගවත් වීමයි. 2028 වන විට ලෝක ජනගහනය බිලියන 8ක් වෙතැයි අනුමාන කර ඇත.
මෙයින් පැන නඟින ගැටළු අතර නාගරීකරණය, කාන්තාකරණය, ඒඩ්ස් වැනි රෝග ව්‍යාප්ත වීම, සමාජ දූෂණ වංචා සුලබවීම, රැකියා වියුක්තිය, නීති විරෝධි සංක්‍රමණ ආදී වේ. උපත් පාලනය හා ජනතාව දැනුවත් කිරීම් මඟින් මෙහි වර්ධනය පාලනය කළ හැකිය.

2. වනාන්තර එළි කිරීම
ජෛව ගෝලයේ පැවැත්මට මිනිසා සිදුකරන අහිතකර ම බලපෑම වනාන්තර එළි කිරීමයි.
වගා කටයුතු වලට, ගොඩනැඟිලි ඉඳිකිරීමට, මං මාවත් තැනීමට වනාන්තර එළි කෙරේ.
දැව සඳහා මෙන්ම ඉන්ධන සඳහා ද ශාක විනාශ කෙරේ.
ස්වභාවික හේතු නිසාද වනාන්තර පෘථිවියට අහිමි වේ.
මේ විනාශය නිසා ජෛව ගෝලයට වන හානිය අතිමහත් ය.

3. වාරි කෘෂිකර්මය
වර්ෂාව මත යැපීම ඉක්මවා වැව්වල වැසි ජලය රැස්කොට එම ජලය ඇළ මාර්ග හා උමං මාර්ග ඔස්සේ වගා බිම් වලට යොමු කිරීම වාරි කෘෂිකර්මාන්තය නම් වේ.
මහා පරිමාණ වශයෙන් වගා බිම්වලට ජලය සැපයීමට විශේෂ උපක්‍රම භාවිත කරයි.
සිදුරු සහිත නළ මඟින් ජලය සැපයීම
භ්‍රමන උපකරණ මඟින් ජලය විදීම
බෝග ඇති ස්ථාන වලට පමණක් නළ මඟින් ජලය නිදහස් කිරීම
මෙමඟින් ඇතිවන අහිතකර ප්‍රතිඵලයක් නම් වගා බිමේ ජලය වාෂ්ප වීම නිසා පසේ ලවණතාව අධික වී වගා බිම් අතැර දැමීමට සිදුවීමයි. මෙම ගැටළුවට පිළියම් ලෙස කොම්පෝස්ට් භාවිතය වැඩි කිරීම. වගා බිමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය ලබාදීමට සුදුසු ක්‍රම අනුගමනය කිරීමයි.
(c) Shilpa Sayura Foundation 2006-2017