මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමි
 

ක්‍රි.ව. 1823 පෙබරවාරි 09 වෙනි දින බලපිටිය, මොහොට්‌ටිවත්ත ග්‍රාමයෙහි උපත ලැබූ මීගෙල් මැන්දිස්‌ නම් ළදරුවා දොළොස්‌ වැනි වියෙහි මොහොට්‌ටිවත්තේ ගුණානන්ද නමින් පැවිදි වී නමුත් තම ගුරු දේවයන් වූ බලපිටියේ ගුණරතන හිමිපාණන් ගේ අපවත් වීමත් සමඟ සිවුරු හළේය. අනතුරුව කොළඹ වෙස්‌ලි විදුහලට ඇතුළත් ව ඉංග්‍රීසි උගත්තේය.

නැවත ගම් පෙදෙසට පැමිණි මොහු දොඩන්දූව කුමාර කන්ද විහාරයේ නැවතී ත්‍රිපිටක පොත් සකස්‌ කිරීමෙහි නිරත වෙමින් එහි විහාරාධිපති ව වැඩ විසූ පූජ්‍ය තෙලිකඩ ස්‌වමින් වහන්සේ වෙතින් නැවතත් පැවිදි බිමට ඇතුළත් වූයේ ය.

එතැන් පටන් ජාතික හා ආගමික සේවාවන් වෙනුයෙන් කැපවෙමින් කටයුතු කළ මුන් වහන්සේ ක්‍රිස්‌තියානි බලපෑමෙන් විනාශයට ලක්‌කල බෝධීන් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් බෝධි රෝපණයටත් පටන් ගති. බ්‍රිතාන්‍ය රාජ්‍ය අණ පවා නොතකමින් නිර්භයව ශාසන අභිවෘද්ධිය පතා කටයුතු මෙහෙය වූ මුන් වහන්සේ ශ්‍රී බෝධිරාජ නමින් සමිතියක්‌ ද පිහිටුවා ගත්හ. කොළඹ පිටකොටුව මංසන්ධියේ පිහිටි බෝධීන් වහන්සේ මෙ හිමියන් ගේ උත්සහායේ ප්‍රතිපලයක්‌ වෙයි.

බුදු දහමට විරුද්ධව ක්‍රිස්‌තියානීන් ගෙන ගිය ප්‍රචාර අභිබවමින් ඔවුන් හා වාද පහක්‌ ම පැවැත් වූ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් 1873 අගෝස්‌තුවේ දී කල පානදුරා වාදය ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූයේ වෙයි. රටත් ජාතියත් ශාසනයත් අරාජික යුගයෙක බුදු දහමේ සත්‍යතාවයත් නිර්මල බවත් සනාථ කරමින් නිර්භයව පෙරට වැඩි මුන් වහන්සේ දේශයේ අමරණීය හිමි නමකි.

(c) Shilpa Sayura Foundation 2006-2017