ශාකවල වර්ධක ද්‍රව්‍ය හා ඒවායේ ආවරණ
 ශාකවල නිෂ්පාදනය වන වර්ධක ද්‍රව්‍ය හෙවත් හෝමෝන කිහිපයකි.

1. ඔක්සීන (auxins)
2. ගිබෙරිලීන (gibberellins)
3. සයිටොකයිනික් (cytokinins)

මෙම හෝමෝන මඟින් වර්ධනය උත්තේජනය කෙරේ. ඇබ්සිසික් අම්ලය හෙවත් ඩෝමින් යනු වර්ධක නිෂේධයකි (growth inhibitor). එමඟින් වර්ධනය නිෂේධනය කරයි.

ඔක්සීන
කඳේ හා මුලේ අග්‍රස්ථයේ නිපදවෙන වර්ධක ද්‍රව්‍ය ඔක්සීන නම් වේ. මෙම ඔක්සීන කඳේ හා මුලේ සෛල දික්වීමට බලපායි. ශාකවල නිපදවෙන ඔක්සීන කිහිපයකි.

1. ඉන්ඩෝල් ඇසිටික් අම්ලය (IAA)
2. ඉන්ඩෝල් ඇසිටැල්ඩිහයිඩ් (IAA1d)
3. ඉන්ඩෝල්-3 - පයිරුවික් අම්ලය (IPyA)

ඔක්සීන මඟින් සෛල විභාජනය, කඳේ හා මුලේ දික්වීම හා වර්ධනය ද ඵලවල වර්ධනය ද වේගවත් කරයි.

ගිබෙරිලින
ශාක තුළ නිපදවෙන වර්ධක ද්‍රව්‍යයකි. මෙය ද හෝමෝනයකි. මෙය සොයාගනු ලැබුවේ 1926 දී ජපන් විද්‍යාඥයකු වන කුරොසාවා විසිනි. දැනට විවිධ ගිබෙරිලින 100ක් පමණ ඇත. කඳන්වල දික්වීම කෙරෙහි ගිබෙරිලින ප්‍රධාන ලෙස බලපායි.

සයිටොකයිනින්
මෙම ශාක වර්ධක ද්‍රව්‍ය මඟින් සෛල විභාජනය සහ කලල, පත්‍ර, ඵල හා මුල්වල වර්ධනය වේගවත් කරයි.

එතිලීන්
ඵලවල ඉඳීම වේගවත් කරයි. නමුත් කඳන් වල හා මුල්වල දික්වීම නිෂේධනය කරයි.

කෘතීම ශාක හෝමෝන හා ඒවායේ භාවිත
මෙම සංස්ලේෂක වර්ධක කාරක අස්වැන්න වැඩිකර ගැනීම සඳහා යොදා ගනී. මින් සමහරක් වැඩි සාන්ද්‍රණයකින් භාවිත කොට වල් පැලෑටි නාශක ලෙස යොදා ගනී.

2,4 ඩයික්ලෝරෝ පීනොක්සි ඇසිටික් අම්ලය-DPA
3,4,5 ට්‍රයික්ලෝරෝ ප්‍රොපියොන් ඇනලයිඩ් -TPA

මෙම හෝමෝන දෙක කුඹුරුවල පළල් පත්‍ර සහිත වල් පැලෑටි විනාශ කිරීමට (වල් පැලෑටි නාශකයක් ලෙස) භාවිත කෙරේ. ඉන්ඩෝල් ඇසිටික් අම්ලය (IAA) හා ඉන්ඩෝල් බියුටිරික් අම්ලය (IBB) අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීමට භාවිතා කෙරේ. ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීමට හා අන්නාසි පළඳාව වැඩිකර ගැනීමට නැප්තලීන් ඇසිටික් අම්ලය (NAA) භාවිත කෙරේ. අවාරයේ දී අඹ ගස්වල ඵල හට ගැන්වීමට "සයිටොසෙල්" වර්ධක කාරක යොදා ගැනේ.

මීට අමතරව පත්‍ර හා කැපූ මල් කල්තබා ගැනීමට පටක රෝපණයේ දී සෛල විභාජනය හා පටකවල වර්ධන වේගය වෙනස් කිරීමට පාතනෝඵලනය හා ආගන්තුක මුල් ජනනය කිරීමට මෙම කෘත්‍රීමව නිපදවන හෝමෝන වැදගත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017