මධ්‍ය ස්නායු පද්ධතිය (central nervous system)
 මධ්‍ය ස්නායු පද්ධතිය යනු මොළය හා සුෂුම්නාවයි. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරිත්වය පාලනය කරන්නේ මෙම ස්නායු පද්ධතිය මගිනි. හිස් කබල තුළ මොළය ආරක්ෂිතව පවතින අතර සුෂුම්නාව කශේරුව තුළ ආරක්ෂිත ව පවතී. මෙහි ආරක්ෂිත ආවරණ තුනකි. මේවා පොදුවේ මෙනින්ජි පටල ලෙස හඳුන්වයි.

1. බාහිර ආවරණය (dura mater)
2. අතර මැදි ආවරණය (arachnoid membrane)
3. අභ්‍යන්තර ආවරණය (pia mater)

මෙනින්ජි පටල අතර අවකාශයෙහි පිරී පවතින තරලය මස්තිෂ්ක සුෂුම්නා තරලය යි. ගැස්සීම් වලින් මොළය ආරක්ෂා කිරීමට මෙම තරලය උපකාරි වේ.

මොළය හා සුෂුම්නාව තුළ සුදු පැහැති හා අදුරු පැහැති කලාප දෙකකි. සුදු පැහැති කලාපය ස්නායු තන්තු වලින් හෙබි ශ්වේත ද්‍රව්‍යයෙන් ද, අදුරු පැහැති කලාපය සෛල දේහවලින් සමන්විත ධූසර ද්‍රව්‍යයෙන් ද සෑදී ඇත. මොළයේ බාහිරට වන්නට ධූසර ද්‍රව්‍ය පිහිටන අතර ඊට ඇතුළතින් ශ්වේත ද්‍රව්‍ය පිහිටයි.
(c) Shilpa Sayura Foundation 2006-2017