බෞද්ධ ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය

 Link 

 

බ්‍රිතාන්‍ය පාලන කාලයේ අධ්‍යාපනය මෙහෙය වූ මිෂනාරි සමාගම් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් ස්වදේශිකයන් තම ආගමට හරවා ගැනීමේ අරමුණක යෙදී සිටියහ.

1. ක්‍රිස්තියානි පූජකවරු දේශීය භාෂාවෙන් ඉගෙන මිෂනාරි පාසල් වල අධ්‍යාපනය කිරීම.
2. ක්‍රිස්තියානි ධර්මය සිංහල හා දෙමළ භාෂාවෙන් පොත්පත් මුද්‍රණය කොට බෙදාහැරීම.
3. ස්වභාෂා අධ්‍යාපනයට රජයෙන් ආධාර නොලැබීම හා මිෂනාරි පාසල්වලට රජයේ අනුග්‍රහය ලැබීම.

ආදී ක්‍රියා හේතුවෙන් දේශීය ආගම් මෙන්ම ස්වභාෂා පාසල් පිරිහී යාමේ තර්ජනයට ලක්විය. මෙය අවබෝධ කොටගත් සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් 1860 දී පමණ තම ආගම් හා සංස්කෘතීන් නඟා සිටුවීමට විවිධ ව්‍යාපාර ආරම්භ කළහ.

19 සියවස අවසාන භාගය වනවිට බෞද්ධාගමික ප්‍රබෝධයක් අැතිවිය.

1. වලානේ සිද්ධාර්ථ නා හිමි රත්මලානේ පරමධම්ම පිරිවෙන පිහිටුවීමෙන් ද,
2. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි පංච මහා වාද මෙහෙයවමින් ද
3. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි 1873 දී විද්‍යෝදය පිරිවන ආරම්භ කිරීමෙන් හා
4. රත්මලානේ ධර්මාශෝක නා හිමි 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිහිටුවීමෙන් ද, බෞද්ධ පුනර්ජීවයට පුරෝගාමි වූහ.

මෙය දුටු පාලකයෝ සහ ක්‍රිස්තියානි පූජකයෝ එම බලවේගය මැඬලීමට උත්සාහ ගත්ත ද, බුදු දහම ඔවුන්ට පැහැදිලි කර දීමට පූජකවරුන් සමඟ නොයෙකුත් වාද විවාද කිරීමට භික්ෂූන් වහන්සේලා සමත් විය.
1864 - බද්දේගම
1865 - වරාගොඩ
1866 - උදම්මිට
1871 - ගම්පොල
1873 - පානදුරය
ආදී ස්ථානවල පංච මහා වාද විවාද අැතිවිය. මෙම වාද විවාද නිසා රටතුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් අැති වූ අතර මීගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියන් පැවැත්වූ පානදුරාවාදය විශේෂ තැනක් ගති. මේ පිළිබඳ තොරතුරු දැනගත් අැමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා 1880 දී ලංකාවට පැමිණ බෞද්ධයෙකු විය. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය විධිමත් කොට දියුණු කිරීමේ ගෞරවය එතුමාට හිමි වේ. පරම විඥානාර්ථ සමිතිය පිහිටුවා එමගින් බෞද්ධ පාසල් පිහිටුවී ය.
එතුමා,
1. ගිහි පැවිදි දෙපාර්ශවයටම පොදු සංවිධානයක් ලෙස පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම හා ප්‍රධාන නගරවල එහි ශාඛා පිහිටුවීම.
2. බෞද්ධ අධ්‍යාපන අරමුදල ආරම්භ කොට එයට ආධාර එකතු කිරීමට රටපුරා සංචාරය කරමින් ජනතාව දැනුවත් කිරීම.
3. පරම විඥානාර්ථ සමාගම මඟින් ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මහින්ද ආදී බෞද්ධ පාසල් ආරම්භ කිරීම.
4. ‍"සරසවි සඳරැස" පුවත්පත අරඹා බෞද්ධයන් එකමුතු කිරීම.
5. ඉරැදින දහම් පාසල් අැරඹීම.
6. වෙසක් පෝය දින රජයේ නිවාඩු දිනයක් කරවා ගැනීමට දායක වීම.
7. කාන්තා අධ්‍යාපනය උදෙසා විශාඛා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය විද්‍යාලය ආරම්භ කිරීම වැදගත් වේ. ඔහු කළ සේවාවන් හා කැපවීම නිසා බෞද්ධයන් තුළ ජාතිකානුරාගය, සිංහල භාෂාව, සිරිත් විරිත් හා රටේ ඉතිහාසය පිළිබඳ ප්‍රබෝධයක් ඇතිවිය.

ඕල්කොට් තුමාගෙන් පසු අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, ඩී.බී. ජයතිලක, ආතර් වී. දියෙස්, පියදාස සිරිසේන, අමදෝරිස් මෙන්ඩිස්, ආර්.ඒ. මිරැන්ඩෝ, ඩී.ඒ. හේවා විතාරණ වැනි තරුණයින් නායකත්වය ගත්හ. ඒ අතරින් ඕල්කොට් තුමාගේ ප්‍රධාන අනුගාමිකයකු වූ අනගාරික ධර්මපාල තුමා ප්‍රධාන වේ. එතුමා ජාතිකාභිමානය නඟා සිටුවීමට මහත් පරිශ්‍රමයක් දැරුවා පමණක් නොව බුදු දහමට ජාත්‍යන්තර කීර්තියක් ලබාදීමට ද කටයුතු කළේය. ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගැනීමට දැඩි කැපවීමකින් කටයුතු කළේය. එතුමා විසින් අරඹන ලද මහාබෝධි සමාගම සහ 1898 දී ඩී.බී. ජයතිලක මහතා ආරම්භ කළ තරුණ බෞද්ධ සංගමය බෞද්ධ පුනරුද ව්‍යාපාරයට උරදුන් ප්‍රබල සංවිධාන දෙකක් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017