කැමිය (Cam)
 ජ්වලන පරිපථයේ ප්‍රාථමික දඟරයේ ගලන ධාරාව විසන්ධි කිරීමට විස්පර්ශක තුඩු විවෘත කරන්නේ කැමියක් ආධාරයෙනි. එන්ජිමක පවතින සිලින්ඩර ගණනට සමාන වූ නාසයන් (Lobes) ගණනක් මෙම කැමියේ අඩංගු ය. බෙදාහරිනය ක්‍රියා කරවන ඊෂාවෙ ම (Shaft) කැමිය සකස් කර ඇති අතර, එහි ඉහළ කෙළවරට භ්‍රමකය (Rotor) සෘජු ව සවි වන ආකාරයට ඊෂාවේ ඉහළ කෙළවර නිමවා ඇත.

සිව්පහර සිලින්ඩර හතරේ පෙට්‍රල් එන්ජිමක දඟර කඳ වට දෙකක් භ්‍රමණය වන විට (කැමි දණ්ඩ එක වටයක් සම්පූර්ණ වන විට) සිලින්ඩර හතරේ ම දහන ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතු ය. එවිට විස්පර්ශක තුඩු ද සිව්වරක් ඇරීම සහ වැසීම සිදු වේ. එබැවින් බෙදාහරිනයේ ඊෂාව කැමි දණ්ඩ භ්‍රමණය වන වේගයෙන් ම චලිත විය යුතු ය. මෙම ක්‍රියාවලිය ජ්වලන දඟරයේ ප්‍රේරණය වන අධිවෝල්ටීයතාව දහන අනුපිළිවෙළ අනුව නිසි අවස්ථාවේ නිවැරදි ව සිලින්ඩරවලට බෙදාහැරිය යුතු ය. ඒ සඳහා භ්‍රමණයක් භාවිත කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017