ජ්වලන දඟරය (Ignition Coil)
  මෙය එක ම මාධ්‍යයක ඔතා ඇති ප්‍රේරණ දඟර දෙකකින් සමන්විත ය. ඉන් එක් දඟරයක් ප්‍රාථමික දඟරය වන අතර, අනෙක ද්විතීයික දඟරය නම් වෙයි. ප්‍රාථමික දඟරය වැඩි විෂ්කම්භයකින් යුතු පරිවෘත තඹ කම්බිවලින් අඩු වට සංඛ්‍යාවකින් යුතු වන සේ ද, ද්විතීයික දඟරය විෂ්කම්භය අඩු පරිවෘත තඹ කම්බි වැඩි වට සංඛ්‍යාවකින් සමන්විත ය. මෙම දඟරයේ ප්‍රධාන කාර්යය වන්නේ බැටරි වෝල්ටීයතාව අධිවෝල්ටීයතාවක් බවට පත් කිරීම ය. උදාහරණයක් ලෙස බැටරි වෝල්ටීයතාව 12 V වන විට එහි ප්‍රේරිත අධිවෝල්ටීයතාව ආසන්න වශයෙන් 24,000 V වේ.

ජ්වලන දඟරයේ ඇති විය හැකි දෝෂ ලෙස අභ්‍යන්තර දඟර ලඝු පරිපථ වීම, පරිපථ විසන්ධි වීම සහ දඟරය තාපවත් වන විට ඇතුළත දඟර ලඝු පරිපථ වීම දැක්විය හැකි ය.

ජ්වලන දඟරය තුළ විද්‍යුත් චුම්භක මූලධර්මය අනුව අධිවෝල්ටීයතාවක් ජනනය කිරීමට නම් ප්‍රාථමික දඟරයේ ගලන ධාරාව ක්ෂණික ව විසන්ධි කළ යුතු ය. මේ සඳහා පරිපථයේ ගලන ධාරාව මාරුවෙන් මාරුවට යැවීම හා නැවැත්වීම යාන්ත්‍රික ක්‍රමවේදයක් යොදා ගෙන සිදු කෙරේ. මෙයට යොදා ගැනෙන යාන්ත්‍රික ක්‍රමවේදය විස්පර්ශක තුඩු (Contact breaker points) ය.
(c) Shilpa Sayura Foundation 2006-2017