ශ්‍රී ලංකා ආර්ථිකයට කුඩා ව්‍යාපාරවල වැදගත්කම
 

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයේදී මුහුණ පෑමට සිදු වී ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ :

1. රැකියා විරහිතබව (Un Employment)
2. දුප්පත්කමය (Poverty)

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 8.5% (2004 මහා බැංකු වාර්තාව අනුව)ක් පමණ විරැකියාවෙන් පෙලෙති. මෙහි විශේෂත්වය වන්නේ විරැකියාවෙන් පෙලෙන්නවුන්ගෙන් බහුතරයක් වයස අවු: 18 – 30 අතර වු තරුණ තරුණියන් වීමයි. එබැවින් තරුණ අසහනය ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජික හා දේශපාලනික ගැටළු රාශියක් ජනිත වීමට බලපා ඇත.


එසේම ශ්‍රී ලංකාවේ ජනග්‍රහනයෙන් 41% (2004 මහා බැංකු වාර්තාව අනුව) ප්‍රමාණයක් දිළිදු අය වේ. ඒ අනුව දුප්පත්කමේ ද්‍රරිද්‍රතාවෙන් පෙලන්නවුන්ගේ සංඛ්‍යාවද ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමක පවති. දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව 1,499,113 (2004 පහා බැංකු වාර්තාව අනුව) ඉක්මවා ඇත.


මෙම තත්ත්වයන්ගෙන් මිදිමට නම් වැඩි වැඩියෙන් රැකි රක්ෂා අවස්ථා ජනිත විය යුතුය. ශ්‍රම සූක්ෂම ව්‍යාපාරවල ව්‍යාප්තිය අවශ්‍ය දේශීය හා විදේශීය ආයෝජන යොදා ගනිමින් ආරම්භ කරන මහා පරිමාණ (Hi – Tech) ව්‍යාපාර නව තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රම බහුලව උපයෝගි කර ගනි. එවැනි මහා ව්‍යාපාරවලින් රැකිරක්ෂා ප්‍රමාණය එතරම් විශාල නැත. ලාභ උපරිම කරගැනීමට හැකි අවස්ථාවලදි පමණක් ශ්‍රමය බහුල වශයෙන් යොදා ගැනීමට මහා පරිමාණ ව්‍යාපාර කැමැත්තක් දැක්වුවද ශ්‍රී ලංකාවේ විරැකියාව පිටු දැකිමට මහා පරිමාණ ව්‍යාපාර අංශයට හැකියාවක් නැත. මෙහිලා ඇති වඩා සාර්ථක විසදුමක් වන්නේ ශ්‍රම සූක්ෂම වු කුඩා ව්‍යාපාර ව්‍යාප්ත කරලීමයි.


කුඩා ව්‍යාපාර සංවර්ධනය තුලින් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ප්‍රාදේශීය සම්පත් නිෂ්පාදනයට යොමු කල හැකි වේ. රැකියා සුලභ වීමෙනුත්, දේශීය සම්පත් ප්‍රයෝජනයට ගැනිමෙනුත්, දේශීය සම්පත් වැඩි වීමෙනුත් ජනතාවගේ ආදායම් වැඩිවීම තුලින් දිළිදුකම අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇත. ප්‍රාදේශීය වශයෙන් කුඩා ව්‍යාපාර සංවර්ධනය වන්නේ නම් තරුණ ශ්‍රමය නගර කරා ඇදී ඒමද අඩු වී යා හැකියි. රැකිරක්ෂා අපේක්ෂාවෙන් නාගරික ප්‍රදේශවලට ඇදි එන ජනයා වැඩි වීම නිසා නාගරික ප්‍රදේශවල මතුවී ඇති නිවාස හිගය, පරිසර දුෂණය, ජන පීඩනය යනාද් ගැටළුද අවම වනු ඇත.


ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර බොහොමයක් සම්ප්‍රදායික ශිල්ප ක්‍රම භාවිතයට යොමු වු ඒවාය. ඒ සදහාම වු වෙළද පොළක්ද තිබින. සම්ප්‍රදායික ශිල්පක්‍රම නව තාක්ෂණය හා බද්ධකර ගැනිමෙන් නිෂ්පාදිතවල ගුණාත්මකභාවය වැඩිකරගත හැකිවාක් මෙන්ම නිෂ්පාදන පිරිවැය අඩුකර ගත හැකිය. එම නිෂ්පාදිත සදහා විදේශ වෙළෙද පොළද ආකර්ශණය කර ගැනීමේ හැකියාව තිබේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරවලට ඉහල ලාභදායකත්වයක් අත්පත් කර ගත හැකිවනු නිසැකය.

(c) Shilpa Sayura Foundation 2006-2017