විවිධ විකුණුම් ක්‍රම
 

අත්පිට විකුණුම්


මෙය ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දි ම වටිනාකම ගෙවා නිම කිරිමේ ක්‍රමයයි. අතිපිට විකිණිමෙන් කාරක ප්‍රාග්ධනයේ ඌනතාවක් ඇති නොවේ. එසේ ම ගිණුම් තබා ගැනිමේ කටයුතු ද වඩාත් සරල වේ.


ණයට විකුණුම්


මෙය මුදල් පසුව ලබා ගැනිමේ කොන්දේසිය මත භාණ්ඩ විකුණන ක්‍රමයයි. මෙය නිෂ්පාදකයන් ද තොග වෙළෙදුන් ද සිල්ලර වෙළෙදුන් ද අතර සිදු වන වෙළෙද ගනුදෙනුවලදි බහුල ලෙස භාවිතා වනු පෙනේ.


ණයට විකිණිම, විකුණුම් ප්‍රමාණය වැඩි විමට ද දෙපාර්ශවය අතර සුහදතාව වර්ධනය විමට ද හේතු වේ. එහෙත් ණයට විකිණිම නිසා ණය නොලැබිමේ අවදානම ඇති විමත් කාරක ප්‍රාග්ධන ඌනතා පැන නැගිමත් ගිණුම් තබා ගැනිමේ කටයුතු අධික විමත් සාමාන්‍යයෙන් සිදු වේ. ණයට විකිණිමේ සාර්ථකත්වය රදා පවතින්නේ දෙපාර්ශවය අතර පවත්නා විශ්වාසය මතය.


වෙන්දේසි ක්‍රමයට විකිණිම


ඉදිරිපත් කර ඇති භාණ්ඩ හෝ දේපොළ හෝ වැඩි ම මිලට ප්‍රසිද්ධියේ මෙන් ම වාචික ව ඉල්ලුම් කරන පුද්ගලයනට විකිණිම වෙන්දේසි ක්‍රමයට විකිණිම ලෙස හැදින්විය හැකිය. වෙන්දේසි ක්‍රමය මගින් විකිණෙන භාණ්ඩවලට තේ, මැණික්, ඉඩම්, රථවාහන, රේගුව, පවරා ගත් ඇතැම් භාණ්ඩ යන මේවා නිදසුන් වේ.


වෙන්දේසියේ දි ඉහළ මිලක් ලබා ගැනිම සදහා භව්‍ය (potential) ගැනුම්කරුවන් විශාල පිරිසක් ගෙන්වා ගැනිම අත්‍යවශ්‍යය. මේ සදහා පුළුල් ප්‍රචාරණයක් කෙරේ. එසේ ම ඒ භාණ්ඩ හෝ දේපොළ හෝ පරික්ෂා කර බැලිමට ද අවස්ථාවක් ලැබේ. වෙන්දේසිකරු විකුණුම්කරුගේ නියෝජිතයා වේ. එහෙත් භාණ්ඩය හෝ දේපොළ හෝ වෙන්දේසියේ තින්දු කළ පසු ඔහු ගැනුම්කරුගේ ද නියෝජිතයා වේ. එහෙත් භාණ්ඩය හෝ දේපොළ හෝ වෙන්දේසියේ දි ගැනුම්කරුට තින්දු වු භාණ්ඩය හෝ දේපොළ හෝ ඔහුට පවරා දිම පිළිබදව ක්‍රියා කිරිමේ වගකිම වෙන්දේසිකරු සතු වේ.


වෙන්දේසියක දි සාමාන්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ විකුණුම්කරු භාණ්ඩය හෝ දේපොළ හෝ විකිණිමට සුදානම් අවම මිල ය. එයට පසු අවම මිලට වඩා ඉහළ මිලක් ප්‍රකාශ කරන මෙන් ගැනුම්කරුවන්ගෙන් වෙන්දේසිකරු ඉල්ලිමක් කරයි. ගැනුම්කරුවන් ඉදිරිපත් කරන මිල ලංසු (bids) යනුවෙන් හැදින්වේ. මෙහි දි ගැනුම්කරුවෝ එකිනෙක අභිබවා ලංසු ඉදිරිපත් කරති. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, කියමින් වෙන්දේසිකරු මිටිය පහත හෙළිම මගින් ඒ භාණ්ඩයේ හෝ දේපොළ හෝ අවසාන ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට තීන්දු කරයි.


ටෙන්ඩර් ක්‍රමයට විකිණිම


මෙයින් අදහස් කෙරෙන්නේ භාණ්ඩයක් හෝ දේපොළක් හෝ සදහා අපේක්ෂිත අවම මිල ඉක්මවා මිල ගණන් ඉදිරිපත් කළ ආය.න හෝ පුද්ගලයන් හෝ අතරින් ඉහළ ම මිල ඉදිරිපත් කළ පුද්ගලයාට හෝ ආයතනයට හෝ එය විකිණිමයි. ටෙන්ඩර් මගින් විකිණිමේ දි අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමය සැකෙවින් පහත දැක්වේ.



  • විකිණිමට ඇති භාණ්ඩය හෝ දේපොළ හෝ ප්‍රසිද්ධ කර මිල ගණන් කැදිවිම විකුණුම්කරුට නියමිත මුදල ගෙවා අදාළ ආකෘති පත්‍රය ලබා ගැනිමට විභව ගැනුම්කරුවනට ඇතැම විට සිදු වේ.
  • භාණ්ඩය හෝ දේපොළ හෝ සදහා ගෙවිමට කැමති මුදල හා සෙසු විස්තර ඇතුළත් කරමින් ආකෘති පත්‍රය සම්පුර්ණ කර එය කවරයක බහා, මුද්‍රා තබා විකුණුම්කරු වෙත නියමිත දිනට හෝ එයට පෙර හෝ ඉදිරිපත් කිරම එසේ නැතහොත් ටෙන්ඩර් පත් සදහා වෙන් කර ඇති පෙට්ටිය තුළ තැන්පත් කිරිම
  • ටෙන්ඩර් පියවන දින නියමිත වේලාවේ දි ටෙන්ඩර් පත් බහාලු පෙට්ටියට මුද්‍ර තැබිම
  • ටෙන්ඩර් මණිඩලය මෙන් ම ටෙන්ඩර්කරුවන් ද ඉදිරිපිට දි ටෙන්ඩර් පෙට්ටි‍ය නියමිතදින විවාත කර ටෙන්ඩර් පත් ඉවතට ගෙන, ඒ එකිනෙක සදහන් මිල ප්‍රකාශයට පත් කරමින් සටහන් කර ගැනිම
  • එකි මිල ගණන් අතුරින් වැඩි ම මිල ඉදිරිපත් කළ ආයතනයට හෝ පුද්ගලයාට හෝ භාණ්ඩය හෝ දේපොළ හෝ ගැනිමට අවස්ථාව සලසා දිම

වාරික ගෙවුම් ක්‍රමටය විකිණිම


සිල්ලර වෙළෙදාමේ දි ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් වාරික ගෙවුම් ක්‍රමය අනුගමනය කෙරේ. මේ ක්‍රමයේ දි භාණ්ඩයේමිලෙන් එකග වු යම් කොටසක් ගෙවා ඉතිරි මුදල යම් කාලච්ඡේදයක් තුළ කොටස් වශයෙන් ගෙවිමේ පොරොන්දුව මත භාණ්ඩය ලබා ගැනිමට ගැනුම්කරුට පිළිවන. මෙහි දි දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති වේ. විකුණුම්කරු පිළිගන්නා පුද්ගලයෙකු ඇපකරු වශයෙන් ගිවිසුමකට අත්සන් කිරිම බොහෝ විට අවශ්‍ය වේ.


වාරික ‍ගෙවුම් ක්‍රමයේ ගිවිසුම් ප්‍රභේද දෙවර්ගයක් දක්නට ඇත. ඒවා කුලි පිට ගැනුම් ක්‍රමය,විලම්භිත ගෙවුම් ක්‍රමය,යනුවෙන් හැදින්වේ.


කුලිපිට ගැනුම් ක්‍රමය


මේ ක්‍රමය අනුව භාණ්ඩයේ මිලෙන් යම් කොටසක් මුලින් තැන්පත් කළ යුතු අතර ශේෂය ගිවිස ගත් කාලච්ඡේදය ඇතුළත වාරික වශයෙන් ගෙවිය යුතුය. මුලික තැන්පත් මුදල ගෙවිමත් සමග භාණ්ඩය ගෙන යාමට ගැනුම්කරුට පිළිවන. එසේ වුවද භාණ්ඩය පිළිබද නීත්‍යානුකුල අයිතිය ගැනුම්කරුට ලැබෙන්නේ අනතුරුවය. මේ වාරික ගෙවුම් ක්‍රමය හැදින්වෙන්නේ කුලි පිට ගැනුම් ක්‍රමය (hire purchase method) වශයෙනි.


විලම්භිත ගෙවුම් ක්‍රමය


මේ ක්‍රමය ද ඉහත කි ක්‍රමයට බොහෝ දුරට සමාන ය. එහෙත් කුලි පිට ගැනුම් ක්‍රමයේ දි භාණ්ඩයේ අයිතිය අවසාන වාරිකය ගෙවන තෙක් එහි ගැනුම්කරුට නොලැබෙතත් මෙහි දි මුලික තැන්පතු මුදල ගෙවිමත් සමග ම භාණ්ඩයේ නිත්‍යානුකූල හිමිකම ගැනුම්කරු සතු වේ. කෙසේ වෙතත් මේ ආකාරයේ ගිවිසුමකට එළඹීමේ දි ගැනුම්කරුට මෙන් ම විකුණුම්කරුට ද අවාසියක් නොවන අයුරු යම් යම් කොන්දේසි ඇතුළත් කෙරේ. විලම්බිත ගෙවුම් ක්‍රමය (deferred payment method) ව්‍යාපාරිකයන් අතර සිදු වන ඇතැම් වෙළෙද ගනුදෙනුවලදි භාවිත වනු දැකිය හැකිය.


වාරික ක්‍රමයට විකිණිම සදහා බොහෝ විට යොදා ගැනෙන්නේ කල් පවත්නා සාපේක්ෂ වශයෙන් මිල අධික භාණ්ඩ වේ. රුපවාහිනි යන්ත්‍ර, ශිතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ගෘහ භාණ්ඩ යන මේවා නිදසුන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017