උඩරට වන්නම් හැදින්වීම නේර්ත වන්නම ඇසුරින්
 
උඩරට වන්නම් දහ අට හඳුන්වනු ලබන කවි පන්ති කිහිපයකි මේ. මෙම කවි පද්‍යාවලිය නේර්ත වන්නම ලෙස හැදින්වේ

වන්නම් දහ අට රාග තමයි පවසන්නේ මහතුනේ අසන්නේ
තොන්නම් තරිකිට වන්නම් දහ අට පදබඳි සන්නේ මා අතින් අසන්නේ
ඉන්නම් සැමතැන බලාන සමතු ලෙසින්නේ සිටියට නැත දන්නේ
වන්නම් මඳකින් පවසමි දැනෙන ලෙසින්නේ මතුවට පවසන්නේ
 
පළමුව ගාහක වන්නමටයි පවසන්නේ පිළිවෙල අහපන්නේ
දෙවනුව ගජගා වන්නමටයි පවසන්නේ මේ සැටි දැනගන්නේ
තුන්වෙනි තුරඟා වන්නමටයි පවසන්නේ කිවිදුනේ අසන්නේ
සිවුවෙනි උරඟා වන්නමටයි පවසන්නේ සබෙ සැවොම අසන්නේ
 
පස්‌වෙනි මුශලඩි වන්නම කියති සයවැනි උකුසා වන්නම කියති
සත්වෙනි වෛරොඩි වන්නම කියති අටවෙනි හනුමා වන්නම කියති
නවවෙනි මයුරා වන්නම කියති දසවෙනි සැවුලා වන්නම කියති
එකොලොස සිංහරජ වන්නම කියති දොලොසට නෛයඩි වන්නම කියති

දහතුන කවිකී කිරළා වන්නම දහහතරටකී ඊරඩි වන්නම
පසලොස කවිකී සුරපති වන්නම දහසය කවිකී ඝණපති වන්නම
දහහත පරසිඳු උදාර වන්නම දහ අට කවිකී අසදිසි වන්නම
 
යොදා මෙලෙස පිළිවෙල දැන
කවි පවසන්නේ ඇදුරනි දැනගන්නේ
නිදා නොසිට සබයට පැමිණි
වෙලෙසින්නේ පෙරවදන් කියන්නේ
 
බින්නෙන් බොරුවෙන් සන්න කියා සිට
පැන්න නුමුත් ඇවිදින් කවි තරඟෙට
පෙන්නවමින් කවි දන්නා පමණට
ඔන්න මෙකවි පද වන්නම් දහ අට

(c) Shilpa Sayura Foundation 2006-2017