උඩරට වන්නම් හැදින්වීම
 

උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වන්නම් ගණනින් 18කි. මෙම වන්නම් හදුන්වනුයේ දහ අට වන්නම් ලෙසය. 18 වැනි සියවසේ සිරිලක කන්ද උඩරට රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු දවස, එතුමාගේ කවිකාර මඩුව හෙවත් විනෝද මණ්‌ඩපයේදී ආරම්භ වූ ගීත විශේෂයකි මේ වන්නම්. මෙම වන්නම් තුල භාෂාමය හා සාහිත්‍යමය අංගයන් දෙස හොදින් විමසා බැලූ විට අපට නිගමනය කල හැකි දෙයක්‌ නම්, මේ වන්නම් එකම ගීත රචකයෙක්‌ විසින් හෝ එකම කාලවකවානුක බිහිවූ එවා නොවන බවයි. මෙම වන්නම් විවිධ පුද්ගලයන් විවිධ කාලවකවානු වලදී නිර්මාණය කරන ලද ඒවාය.
 
 මුල් යුගයේදී කවිකාර මඩුවේ ගායනයට පමණක්‌ සීමා වූ මෙම වන්නම්, උඩරට නර්තන ශිල්පීන් ගේ අතට පත්වීමෙන්, ඔවුන් මෙම ගීත අළලා සකසා ගත් නැටුම් විශේෂයක්‌ බවට දහ අට වන්නම් පත්විය. මෙසේ ආරම්භ වූ දහ අට වන්නම් නූතන උඩරට නැටුම් සම්ප්‍රදායේ ප්‍රධානතම අංගයක්‌ බවට පත් වී ඇත.

ටිබෙට්‌ ජාතික එස්‌ මහින්ද හිමි හා එස්‌. එල්. බී කපුකොටුව මහතා උඩරට වන්නම් ප්‍රචලිත කරවීමට උරදුන් අය අතරින් ප්‍රධාන තැනක්‌ ගනී.
 
 වන්නමක්‌ ගත් කල එය ක්‍රමවත් ලෙස සම්පාදනය වූ ගායනා විශෙෂයකි. නැටුමක්‌ රඟ දැක්‌වීම සඳහා සෑම අතින්ම යෝග්‍ය වන පරිදි සැකසුනු ගායනා ක්‍රමයකි. වන්නමක්‌ ගැයෙනුයේ තිතකට අනුවය. වන්නම් රංගනයට මෙන්ම සාමුහ ගායනා වලටද ඉතා සුදුසු ගීත සමූහයකි.
 
 උඩරට වන්නමක ප්‍රධාන කොටස්‌
 1. තානම
 2. කවිය
 3. කස්‌තිරම
 4. සීරුමාරුව
 5. අඩවුව
 
 වන්නමෙහි තාල රූපය ගෙනහැර පානුයේ තානමෙනි. ත,න,ද,ම යන අක්‍ෂරයංගෙන් සෑදෙන තානම නර්තනය ආරම්භයේදී ගායනා කරයි. එසේ ගායනා කරමින් තාල රූපයට අනුකූල සරඹයක්‌ නටනු ලබයි. තානමට නටා අවසන් කරනුයේ කස්‌තිරමක්‌ නැටීමෙනි. කස්‌තිරමක්‌ නැටීම යනු මාත්‍රාවකින් මාත්‍රයකට මාරුවෙන අවස්‌තාවේදී යෙදෙන පදයකි. ඉන්පසු වන්නමේ මුල්පද පේලිය ගායනා කරන අතර මෙහිදී නළුවන් විසින් දෑතින්, හිසින්, සිරුරෙන් අභිනව දක්‌වයි.මෙම කවි ගායනා කරනු ලබන්නෙ තානම ගැයූ තාලයට අනුවය. කවියේ මුල්පද පෙල අවසානයේ නැවත තානම ගායනා කරන අතර මෙහිදී මුල් අවස්‌තාවට වඩා උසස්‌ සරඹයක්‌ නටා දක්‌වයි.
 
 මේ ආකාරයෙන් කවියේ සියලු පද අවසාන වනතෙක්‌ ක්‍රමයෙන් තානම, කවිය, කස්‌තිරම, සීරුමාරුව, අඩව්ව නැටීම කරයි. කවි පද අවසානයට දීර්ඝ කස්‌තිරමක්‌ නටනු ලැබේ. කස්‌තිරම අවසාන කරනුයේ සීරුමාරුව නැටීමෙනි. සීරු මාරුව යනු මෙතෙක්‌ වෙලා නැටුම ගමන් කල ඉරියවුව මාරූ කිරීමය නොහොත් සීරුව මාරු කිරීමය.සීරු මාරුව අවසනයට නැටුමේ උච්චතම අවස්‌තාව වන අඩව්ව නටා වන්නම අවසාන කරයි. අඩව්ව නැටීමට පෙර නැවත වන්නමේ තිත සහ අඩව්ව සඳහා වන බෙරපදය හඬ නගා කියයි.
 
 වන්නම් වල තානම හා කවිය එම වන්නමටම අදාල නිශ්චිත ඒවා වන අතර, බෙර පද, කස්‌තිරම්, සීරුමාරු හා අඩවු වන්නමේ තාල රූපයට අනුව කැමති පරිදි ඉදිරිපත් කළ හැකිය.

උඩරට වන්නම් දහ අට පිළිවෙලින් මෙසේය.
 
01. ගාහක වන්නම
02. ගජගා වන්නම
03. තුරඟාවන්නම
04. උරඟා වන්නම
05. මුසලඩි වන්නම
06. උකුසා වන්නම
07. වෛරෝඩි වන්නම
08. හනුමා වන්නම
09. මයුරා වන්නම
10. සැවුලා වන්නම
11. සිංහරාජ වන්නම
12. නයියඩි වන්නම
13. කිරළා වන්නම
14. ඊරඩි වන්නම
15. සූරපති වන්නම
16. ගණපති වන්නම
17. උදාර වන්නම
18. අසදෘශවන්නම
(c) Shilpa Sayura Foundation 2006-2017