පස්වන පරිච්ඡේදය
   

පහත රට තොවිල් අතර වූ මහ සොහොන් සමයමේ ප්‍රධාන යක් තෙම මහ සොහොන් යකු සතු වීදි සරසා ගෙන සමයම් සැරසිලි යොදාගෙන සමයම් ඇඳුම් ඇඳගෙන ආයාසයෙන් පතනුගේ එම මහ සොහොන් යකු ඒමය.

සන්නි යකුම සේම,මහ සොහොන් සමයමේ දී විය යුත්තේ මහ සොහොනාගේ පැමිණිමය. ඉස්සර මහ සොහොනාගේ සමයම තුළ පැවතියේ යමගුරය යනාදී මූල ෂධක ද ඇත. ඒ වුවත් මහ සොහොන් සමයමෙයකු ඒම දැන් කිසිදු වෙනසක් නැතිව සන්නි යකුමේ මුහුණ වරට හරවා ගෙනය. එනම් මහ සොහොන් යකු නොව සන්නි යකු ඒමේ විපරිතය වෙන්කර ගෙනය.

මෙය මුළුමනින්ම වැරදිය. මහ සොහොනා ගෙන්වන ආයාස අන්තයේ සන්නියකු ඒම අතිශය වැරදිය. අශාස්ත්‍රිය ක්‍රියාවකි. තොවිලයෙන් සිතූ අර්ථය ඉටුකර ගැනීමට බාධාවක්ය. මෙයින් එහි ආනුභාව මැකීයයි. තවද, සන්නි යකුම තුළ එම යකු ඒම පොළොඹවන පාලි නැටුම් පිළිවෙලක් ඇත. එනම් පන්දම් පාලිය, සලු පාලිය, කෙන්ඩි පාලිය, කලස් පාලිය යනාදි පූර්ව වතාවතක් ඇත. එයට නිදසුනකි මේ.

පන්දම් සබඳ බඳවටකර කවන්නේ
පන්දම් පටින් බැඳලා අතට දුන්නේ
ඉන් දැන් පැමිණි හැම පිරිතම හරින්නේ
පන්දම් පාලියට සන්නිය වරෙන්නේ

වෙතට පළමු සක් දෙව් සලු සලන්නේ
වෙතට පළමු මහ බඹු සලු සලන්නේ
සතට පැමිණි හැම පිරිතම හරින්නේ
දසට සන්නි සලු සැලුමට වරෙන්නේ

මේ පරිදිම මහ සොහොන් සමයමේ දී ද, ඔහු ඒමට පොළොඹවන නැටුම් පෙලපාලි පිළිවෙලකි. එයිනිදු මහ සොහොන් සමයමේ දී පැමිණිය යුතු සන්නියකු නොව මහ සොහොනාමය යනු ප්‍රත්‍යක්ෂය. එම පාලිය මෙසේය.

ගත් යමගුරය හෙල්ලයකින් යුගතා
වත් රන අසූ අට රියනකි උස මහතා
වත් සය සුරිඳු අණයෙන් බැස මෙරහ එතා
පොත් කඩ පාලි බල මහසොන් එ දේවතා

එළු ගව කුකුල් බිලි බැඳ බත් බොජුන් ඇතා
එළුවෙකු වලස් ඌරෙකු පිට ගමන් යතා
මුලු ලක බලන කඳ කුමරුගෙ අණට එතා
සලු පාලිය බල මහසොන් ඒ දේවතා

කන්ඩ දොල කැවිලි බත් බෝජන සරවා
දෙන්ඩ සදා සිටිනෙමි උසකින් පුදවා
ඉන්ඩ වරන් නැත වෙසමුණි අණ සකවා
කෙන්ඩි පාලි දැක මහසෝනා බැසවා

වලස් මූණ සිරසින් දැරු නිති සලෙතා
සවස් කරට අමු සොහොනේ සිටිති රැකා
දිවැසස් තෙදැති දිව කුරු මුණි අණ සලකා
කලස් පාලි බල අද මහ සෝන් යකා

ඒලු කඩිය ඉස වට කර කවා නෙකා
ගෝලු ගතිය අමු සොහොනේ ඉඳන් රැකා
කීලු වටිය අණයට බැස එ අමු යකා
වාලු ගෙඩිය පාලිය බල සෝන් යකා

මාන්බලා ඇවිදින් වෙහෙසින් පෙරලී
පාන වෙලා යන කල සොහොනෙන් ඇබලී
මාන්සේක බිල්ලට අරගෙන කලලී
සෝන් යකා පාලිය බල වර තැඹිලී

යුද්දයට එගෝඩිම්බර සහ තුලවා
බැද්ද, මැදට ලූ අණයම ඉස ගලවා
සිද්ද මහ සෝන් යකු බැස හඬ තලවා
සුද්ධ සුවඳ පාලිය බලවා

වගුරුවා ඌරු බිල්ලක් උලා කකා
නුදුරුවා සිටිය අමු මන් දහම් රැකා
සොඳුරු මහ විෂ්ණු දෙවියන් අණ සලකා
මුගුරු පාලි දැක වර මහ සෝන් යකා

කඩුල්ල මුල අවනත්තක සිටිය යකා
සියල්ල ලෙස මරු හඬ ගා පිය රැකා
විදුල්ල ලෙස ඇවිදින් පෙනි පෙනී නෙකා
සැවුල් පාලි බල මහ සෝනා සැනෙකා

රතට පලස පොරවා රතු අඳින්නා
යසට දුන්න දෑතින් කර කවන්නා
නිලට ඇස් රවා වටපිට බලන්නා
පුදට මරු රීරි සෝනා වඩින්නා

පාර තොට කඩුලු තොට ඉඳ වලව්වේ
ගෝර නපුරු මරුවට අඩ තලව්වේ
රීරි දුන්න පාලිය දැක නිලව්වේ
රීරි සොහොන් යකු එනවා ඉලව්වේ

මෙසේ වෙන් වූ කවි සමුදායක් මහ සොහොන් සමයම සතු වන අතර ඒ සමඟ නැටුම් සම්ප්‍රදායක් වූ බවද විශ්වාසය. සන්නි යකුට කරන පන්දම් පාලිය-සලු පාලිය ආදී සත් පාලියට වෙසෙසින් ජීවය දෙන මේ එන පද සමුදාය, එය මෙසෙසින් විශ්වාස කරවයි.

/අ/ දැහිං දොද් දොද් දොං
හුර ගුද ගදි ගදං
හුර ගුද ගදි ගදං
ගදි ගදං
ගුද ගදං
ගද් දිත් ගදං
තහුර හුර ගදි ගදං
දොං
තත්
දැහිං

/ආ/
හුර ගුද ගද් දෙගද් දැහිංත
ගද ගද ගද් දෙගද් දොංත

/ඇ/
හුර ගුද ගද් දෙගද් දැහිංත
ගදගද ගද් දෙගද් දොංත

/ඉ/
හුර ගදංත ගද පදංත
ගුද ගදංත ගද ගදංත

හුර ගදංත ගද ගදංත
ගුද ගදංත ගද පදංත
හුර ගදංත ගද ගදංත
හුර ගදංත ගද ගදංත
ගද ගදංත
ගුද ගදංත
ගද්දගුදිත ගද්දිත් දැහිං
 

/ඊ/
ගුංද ගද්ද, ගුංද ගද්ද, ගුංද, ගද්ද

/උ/
ගුංද ගද්ද ගද්ද ගද්ද
ගුංද ගද්ද ගද්ද ගදං
ගුංද ගද්ද ගද්ද ගුදං
ගුංද ගද්ද ගද්ද ගුදං
ගුංද ගද්ද ගද්ද ගුදං
ගුංද ගද්ද ගද්ද ගුදං
ගද්ද ගදං
ගුද්ද ගදං

/ඌ/
දොං ගුද ගද ගදි ගද ගුං දොංගුද ගද ගදි ගදගුං
දොං ගද ගුං දොං ගද ගුං දොංත ගුදිත
ගද් දිත් තත් හුර ගදිත ගදත් දැහිං ගද්දත් ගදිත ගුං දොං

මහසෝන් සමයමේ දී එහි විදිය මවන අයුරු කීම, සමයම් විදියට පැමිණි ඇඳුරු තෙම කළ යුත්තකි. රට යකුම් විදියට පැමිණි ඇඳුරු තෙම එම විදි සැරසුම (නැටුම් ගයමින්) විස්තර කරයි නම් මහසෝන් විදියට පැමිණි ඇඳුරු තෙම එම විදි මැවුම විස්තර නොකරන්නට කරුණු නැත. වර්තමානයෙන් එය ඉවත් වුවද පුරාණය තුළ සැඟවී එය මේ වූ ලෙස ඇත්තේය.

තිලොවට වැඩ දුන් සුරුවන්
කර සතුටින් වඳිමි රුවන්
නම කළ ලෝ පල් මුරුවන්
කර පිට හැම දොස දුරුවන්

මහසෝනා යකුට දරුණු
සමඟ වීදි බඳින ලකුණු
ඇඳුරා සැරසීම දෙවනු
පවසමි මේ ලෙසට දැපුණු

පෙර දිග සත් රියන් පමණ
බිම ගෙන පිරිසිදු කරමින
සඳුනුත් කිරි පැන් ඉසිමින
දිග පුලුලෙන් බැඳ එපමණ

සතර කොනට අයිල් සතර
අතර තුරට තොරන් සතර
මැදට පඤ්ච අයිලේ කර
බඳිමින් වීදිය විස්තර

දිග පුලුලෙන් සත් රියනකි
උස අඩුකර එයින් දෙකකකි
කොන් සතරට පුටු සතරකි
මැදටත් බඳින් එලෙසකි

මුලු සතරට සිව් ණ
දොරටුත් ගණනින් සතරකි
වගුරල පංතියෙන් තිසකි
මැස්සේ ගොබ සැට සතරකි

පුටු සය ගෙයි ගෙවල් සරා
තැඹිලිය ගොඛ් වටේ සරා
පුද මහ සොනට පවරා
මේ ලෙස පස් මැස්ස සරා

පෙතන් ඇසල නා සපු මල්
කිනිහිරි රත් මල් මානෙල්
පුවගු පුවක් දෝතලු කල්
අයිලේ සරසන් මෙම මල්

සතර කොනේ අයිල සතර
සොහොන් අට දෙනා පුදකර
සතරට බැඳි තොරන් සතර
සතරවරම් දෙවි පුද කර

සොදුරා රතුසුදු වත් හැඳ
ඉඳුරා පිට වරලස බැඳ
පවරා මන වඩම් පැලඳ
ඇඳුරා බසිමින් රඟ මැද

සැමයකු බියගෙන වෙව්ලන
යමයකු ලෙස සැරසී ගෙන
සැම යල බල දන මතුරන
සැම යකුන්ට අඬ ගහ මින

පෙර යම වට සමයන කින
මැදයට අයිලේ පුදමින
අලුයම බලි බිලි පුද දෙන
සමයමකින් මෙම විලසින

මේ ජෙකයන් 'පඬි යෙදුම්' අතර ලා සලකන කල්හි මුලු මහ සොහොන් සමයම යම මෙහි කියවේ. මෙය කොතෙක් තියුණු ද කිවහොත් ඇඳුරාගේ සැරසුම පවා මෙයින් කියවේ. එම ඇඳුරු සැරසුම ඉන් පමණක් නොව සමයම තුළ එන මේ ජෙක තුළින් ද අනුමත වේ.

ඇඳ ගත්තේ රතු සුදු වත කලු සැට්ටයකින් දිලෙන්ඩ
බැඳගත්තේ පිට වරලක් රතු රතු තොප්පිය ඉසල වන්ඩ
අර ගත්තේ වමට බිල්ල දකුණේ පන්දම් දරන්ඩ
බැහැ ගත්තේ රඟට ඇඳුරුයක් අවතාරය බලන්ඩ

මීට ඉහත කී ජෙක ගතවූ කාලයේ හැටියට මහ සොහොන් සමයම තුල වූ සිවිකොණ බැඳී සිව් තොරණම දේව තොරන්ය. ඒවා සතරවරම් දෙවි උදෙසාය. ඒ කිසිවක් නොතකා දැන් එය යක් පෙලේ තබාම පුදමින් දේව වශයෙන් මංගර දෙවිඳු පමණක් සලකා ගරු පුද සලකති. එහෙත් සන්නි යකුමේ තොරන් පෙලේ වූ කීපයක් ද දේව තොරන් බවට සාධක වූ විට මහසොහොන් සමයමේ එකී තොරන් ද දේව සත්‍ය යයි ගැන්ම සාධාරණය කළ හැකිය.

තවද කාලය විසින් සිවිකොණ පිදීම ද මහසොහොන් සමයමෙන් ඉවත්ව ගොස්ය. එහි නැටුම් ආදිය අඩු නැතුව අතීතය විසින් රකින ලද කීපයක් ජෙක මෙසේය.

ගිනි කොණ අයිලේ බඳින්ට
ලේ ගොටු සතරක් පුදන්ට
සකි නුඹ වාසනා වන්ට
මෙපුද බලාගන් කඩවර සොහොන් යකා දැන්

ගිනි කොණ අයිලේ පුදන්ට
සැවුල් රීරි ගොටු පුදන්ට
යකු නුඹ දෙවියෝ රකින්ට
බැල්ම එලාපන් යාලුවෙ මෙදුක් මුදාපන්

නිරිත කොනේ මල් පුද කොට
සොහොන් කුරුම්බා යකුට
පුදකර දෙන ලේ ගොටු අට
මේ පුදබලාපන් යාලුවෙ මෙදුක් මුදාපන්

එම කොණ සැරසූ අයිලේ
ලේ ගොටු අටකින් සැවුලේ
පුද බත් ගොටු සුදු සාලේ
බැල්ම එලාපන් මහසෝනා යකු නුඹ දැන්

මේ වූ ලෙස සිව්කොණ පිදීම පමණක් නොව අට කොනේ නාමයෙන් යකු ඇමතීම වූ බවටද පුරාණයේ වූ මේ කවි සාක්ෂි දෙයි.

කරන හඬක් දබරක් සහ ඉනපිරුවට ගෙන අඳින්ඩ
බුදින රීරි පුලුටු තනිව සැන්දෑවේ ලේ දකින්ඩ
දහන කරපු කරහල් පුර තෙද පත්තිනි අණ කියන්ඩ
නැගෙනහිරේ දිස්ටි වැටී ලෙඩ කළ යක්ෂයා එන්ඩ

එන වේලේ සමයම් වල වටපිට හොල්මන් කරන්ඩ
එම වේලේතිනි මංවල දැකලා අමියා කරන්ඩ
මෙම වේලේ ලෙඩ කළ යක් අවතාරය මට පෙනෙන්ඩ
සෑම වේලේ කදිර දෙවිඳු අණ ලමි ගිනි කොනින් එන්ඩ

කැම බීම බැඳුම් පුලුටු දඩ වැදී පොල දිදී කන්ඩ
යාම් ඊම් සමයම් වල දැකලා බැල්මක් හෙලන්ඩ
සෑම දේම දොල බිලි සරසා ලෙඩ කල යකුට දෙන්ඩ
රාම රජුගෙ අණ පවසමි දකුණෙන් දිස්ටිය වැටෙන්ඩ

සිරිතකි මහ සොහොන් පොලේ අවනත්තක රැක සිටින්ඩ
සීරි නොව දුර බැල්ම එලා ඇවිදින් සැඟවිලා ඉන්ඩ
නිරිත දිගින් මහසොනා අවතාරය මට පෙනෙන්ඩ
සිරිදහම් අණ පවසමි ලෙඩ හැර මෙහි බැල්ම ලන්ඩ

තවද සමයම තුළ වූ දෙකොණ විලක්කු පාලිය විශේෂ කර මහා බලකර නැටුමක් වුවත් එය අද පලවනුයේ රීරි යකුට නොවේ. එහෙත් රීරි යකු සමඟ හිත මිත්‍ර බව යටතේ මහසෝනාට රීරි සොහොන් යයිද නමක් පළ වේ. ඒ බවට මේ සමයම කවි සාක්ෂි දරයි.

රීරි විලේ ඉස්නානය කර සොඳට
රීරියකාසමඟින් එති සමයමට
රීරි මස් පුලුටු දොල බිලි දෙමි නුඹට
රීරි මහ සොහොන් යකුවර කරාලෙට

මරා සැවුල් බිලි දෙමි මම උරේ ඉරා
පුරා රීරි දෙමි යකු නුඹ නමට පෙරා
ජරා බිල්ල අත්හැර දැන් සිටිය දරා
වරා රීරි සෝනා අවනත්ත කරා

මෙකී හිතමිත්‍ර බව තුළ, දෙකොන විලක්කු පාලියේ ද මෙසේ රීරාත් සැලකීම යම් යෝග්‍ය බවක් දැක්වුව ද එය මහ සෝන් යකු සතු වූවක් ම බවත්, අයථාවන් සිදුවී දැන් එතැන පලුදු වූ බවත්, එහි මහසොහොන් අයිතිය පැවසෙන මේ පැරණි කව පළ කරයි.

අකුණු හඬ සේ හැඩ ලිය ඉද මෙරේ හිරේ
දකුණු අතින් අල්ලයි යම ගුරේ තරේ
ලකුණු රීරි මරු සෝනා වැරේ සැරේ
දෙකොණ විලක්කුව පාලිය කෙරේ වරේ

වැසන පොරොත්තුව කියලා සේය යකා
කරන නෙරෙක්කුව පොල්ලක් ගෙන අතෙකා
ගමන පරක්කුව නොව ඇවිදින් සැනෙනා
දෙකොන විලක්කුව බල මහ සෝන් යකා

මහ සොහොන් සමයම තුළ හිතුවක්කාරකම් කළ නොහැකිය. එය නියම පෙලපාලි දෙතිසක් (තිස් දෙකක්) කොට සම්පූර්ණ කල යුත්තකි. රටයකුම එක් තිස් පෙලපාලියකින් සම්පූර්ණ කළ යුතු බව මේ එන පුරාණ මහ සොහොන් යාදින්න පවසයි.

මහ සොහොන් යකා හට - දෙවන් පුද නිසි ලෙසට
පඤ්ච අයිලේ තනා - තිස් දෙකක් ගෙඹ තනා
නවයකුත් ගොටු තනා - අයිලවට පුදමිනා
කවි මන්ත්‍ර යාදිනුත් - පෙලපාලි තිස් දෙකක්
බලි බිලි ද පිදේනිත් - නොවරදවා පුද කරත්.

ඉඳින් මේ ලෙස සලකන විට මහ සොහොන් සමයම් නැටුම දැවට අපිරිසිදුය. දුබලය. ගතවූ කාලයේ පිහිටෙන් එය යළි සකස් කළ යුතුමය.

(c) Shilpa Sayura Foundation 2006-2017