දෙවැනි පරිච්ඡේදය
 
නැටුම් - ගැයුම් - වැයුම්
 
 උඩ පාත සබරගමු යන නමින් මේ රටේ එන නැටුම් ප්‍රධාන වශයෙන්ම ලාස්‍ය නමින් හා කාණ්ඩව නමින් වෙන්වේ. ලාස්‍ය ගණයෙහි එනුයේ කාන්තා නැටුම් ය. කාණ්ඩව පෙළෙහි එනුයේ පිරිමි නැටුම් ය. එහෙත් මේ දෙක තුළම ලාලිත්‍ය ඇත.
 
 මේ (ස්ත්‍රී පුරුෂ) නැටුම් දෙකින් වඩා ලාලිත වනුයේ කාන්තා නැටුම් වන අතර මද ලාලිත්‍යයෙහි පිරිමි නැටුම් වේ. ලාලිත බව නැටුම තුළ නොමැති නම් එය දැකුම්කළු නැත. එය ජනකාන්ත නොවේ.
 
 එහෙයින් නැටුම තුළ ශාස්ත්‍රීය බව තරමට ම ලාලිත බව තිබීම අවශ්‍යමය. මන්ද යත් රසිකයන් අතර වන හැමදෙනාම ශාස්ත්‍රය හඳුනන්නන් නොවූවත් ලාලිත්‍ය හඳුනන්නෝ වෙති. ශාස්ත්‍රීය බවටත් වඩා ලාලිත බව අගය කරන ඇතැම් හු "ලාලිත බව නැති තැන නැටුමක් නැතැ" යි අදහති.
 
 ඒ අගයන්ගේ ඉතිරිය බඳ සොලවා, කන ලෙලවා, උකුල ගස්සා, අඟර දඟර පාලා ඉඟ පද්දාලා, මුකුළුවේ නටන විට මිහිර මහත් බැවිනි. ඒ අතරම දසන් පාලා, මදහස දීලා, බැම නටවාලා, ඉඟි බිඟියේ මුකුළුවන විටද අපමණ රසයක් ජනිත වේ.
 
 නැටුම් අතර වූ කුළු නැටුම මුලුමනින් ම ලාස්‍යය එහෙත් කුල්ල ගෙන පද නොවරදවා විවිධ පදමාලා නැටූ පලියටම එය ලාස්‍ය වන්නේ නැත. දමන දෑත බලන බැල්ම, යන ගමන, පොලන පෙලුම, ඉතාම ලාලිත විය යුතුමය. එසේ නොවේ නම් එය කුළු නැටුමක් නම් නොව කුළු නැටුම යයි නම් ලැබූ ව්‍යාජයකි.
 
 කළගෙඩි මාලයද ලාලිත බව රැකෙන මනහර නැටුමකි. එහි එන ලතාව මුළුමනින්ම අමුතුමය. යෑම් ඊම්, මාරුවීම්, හැරීම්, නැමීම ඉතා ලාස්‍යය. බෙල්ල හරවා අත තමා නෙතඟින් බලන බැල්ම රසවත් වන අතර උකුල කරකවා යන ඔමරි ගමනද ඒ තරම් ම ලාස්‍යමය. මියුරු හඬ නගා මුකුළු සිනා පා ශාන්ත දාන්තව, ලලිතව ගයන මිහිරි ගැයුමද ඉතා සුන්දරය. මෙකී නොකී ලාලිත්‍යතා එක්වූ විට පමණක් කලගෙඩි මාලය අගය වේ. දැකුම්කළු වේ.
 
 ලාලිත බව රකින තව මහ තැනකි, රට යකුම යන තොවිලයේ එන නානුමුරය. මෙතරම් ලාලිත බවට ඉඩ ලැබී ඇති තව තැනක් පහතරට තොවිලය තුළ ඇත්දැයි සිතවන තරම් එහි ඇති ලාලිත මුකුළු බව උසස්ය.
 
 ගිරිදේවි නැටුම ද ලාස්‍යයේ දෙටු තැනෙකි. නමින් දේවියක් බව කියමින් ම එහි නටනුයේ කාණ්ඩව ව නම්, එය වනාහි නැටුම් සරදමක් මිස ගිරිදේවි නැටුමක් නම් නොවේ.
ඉතිරී බව පාන දාන්ත ශාන්ත ප්‍රකට ලකුණු හැම නැටුමකටත් වඩා එම නැටුමෙහි විය යුත්තේ එය යාගාත්මක හෙයිනි. විලාසය බාල කර නටන විට එහි අර්ථය බිඳ වැටෙන හෙයිනි. එහෙයින් නියම ගිරිදේවි නැටුම අවශ්‍යය.
එයයට මෙය,
 
 රිං,දං
 ග,දි,ත,ගු
 දෝං,ග,ද
 ගු,ද,ග,ද
 දැහිං-ගුද,ගුද
 ග,දි,තං
 ග,දි,ත,ගු
 දොං,ග,ද
 ගු,ද,ග,ද
 දැහිං
 
 මෙයින් ලාලිත්‍යයට එන රුකුලත් ශාස්ත්‍රයට එන රුකුලත් ඉමහත් බව නටන විට පෙනේ. මේ වනාහි කාන්තා නැටුමක රැඳී තිබිය යුතු, හර, බරකම් ගැබ් වූ පදයක්ය.
 කාණ්ඩව බව තුළ ලාස්‍යතා බෙහෙවින් නැත ද නිසි වූ හැරුම්, පෙරලුම්, රැකුම්, බැලුම්, හර, බර කම් සෑදී යෙදී රස ගැනී එන විට එය දැකුම්කළු වෙයි.
 
 රාක්ෂය නම් නැටුම කාණ්ඩව බව ප්‍රකට සේ එන කදිම කැපී පෙනෙන නැටුමකි. එසේ කැපී පෙනෙන ලෙස නැටිය හැක්කේ එහි වූ නියම ම පද වලය. එම නියම පදයකි මෙය.
 
 i. හුර ගද දැහිං
    හුර ගද හිං
 ii. හුර ගද් දත්
     ගද් ගද ගුං
 iii. දොංත ගුදග
     දැහිං ගද ගද
 iv. ගතිද ගදං
     ගද් ගද ගුං
 v. දොතං ගුදග
 vi. දැහිං
 
 අපේ රටේ එන රාක්ෂස නැටුම් දෙවර්ගයකි. අම්බලන්ගොඩ නැටුම හා තංගලු නැටුම යනුවෙනි. මැලබාරයෙන් ඇවිත් අම්බලන්ගොඩ "නම්බිමුල්ලේ" පදිංචි වූ නාග ගුරුළු යන මිනිස් දෙවර්ගය, ඔවුනොවුන් පසමිතුරුව සටනක වූහ. දෙපස අය ඔවුනොවුන් හැඳුනුම පිණිස නාග රාක්ෂස, ගුරුළු රාක්ෂස වශයෙන් සටනේදී සලකුණු කරගත්හ. ඒ යටතේ නාග, ගුරුළු රාක්ෂ ඇතිවූ අතර සතුරු අයගෙන් ඒ මේ අත පැන බේරීමට ඉන් හැකිවිය. සුදුසු ගමනක, අංශ පැනීමක, බැල්මක, හැරීමක ඔවුහු සලකුණෙන් වූහ. එය පරමාර්ත කොට ගෙන අම්බලන්ඩොඩ රාක්ෂස පද මැවී ඇත.

තංගලු රාක්ෂය පද නැටුමෙන්, බැලුමෙන්, හැරුමෙන්, පෙරළුමෙන්, ගමනෙන් බිමනෙන් රාක්ෂස බව ප්‍රකට වූවකි. ඉන් එකකි මෙය,
 
 ගුද,ගුද,ගද,ගද
 ගද්, දිත්,තත්
 දොතංගු
 දොතංගු
 දොං
 
 සමයම් පදයක වුවද, පහතරට නැටුම තුළ වූ කාණ්ඩව ලක්ෂණ පලවෙයි. ඒවාත් සමයම් ඇඳුරාට සිය කාරිය සාර්ථකව කළ හැකි සේය.
 මේ ඉන් පදයකි.
 
 රිං ගද ගද, ගදග
 දිං ගද ගද ගුගුද
 ගුද ගදි ගද ගද ගද ගද්
 දිං ගදිත ගුං
 දොං
 
 මහ සමයම් පෙලේ එන පහත පැවසෙන පදයද මුළු මනින්ම කාණ්ඩව බව පලකරන හැටි පදය නටන විට අනාවරණය වේ.
 මෙයය එම පදය.
 
 ගද්දිරිකිට ගදං
 ගුද්දිරිකිට ගුදං
 ගදං
 ගුදං
 ගුදගු
 දොං
 ගද්දිරිකිට
 ගුද් දිරි කිට
 දැහිං
 
 පන්දම් පදයක වුවද, මේ කාණ්ඩව බව සාර්ථක වී ඇති සැටි එම පෙලේ එන එක් පදයකින්ම දැකිය හැකිය.
 
 රීං ගධ, ගධ ගධ, ගධ ගධ, ගුද ගුද
 ගද්දත්, ගුංදත්, රෙගදත්, ගුංදත්
 
 රීං ගධ, ගධ ගධ, ගධ ගධ, ගුද ගුද
 ගද්දත්, ගුංදත්, රෙගදත්, ගුංදත්
 
 රීං ගද ගුද ගද්
 ගදි ගද ගුද ගද
 
 දොතං ගදං ගදගුදහිත ගතිත් තත්
 දොතං ගදං ගද ගුහිත ගදිත් තත්
 දොතං ගදං ගද ගුහිත ගතිත් ගතිත් තත්
 
 ගද ගද ගුගුදං
 ගද ගුගුදං
 ගද ගද ගද ගදගුං
 දොංත ගදා
 
 හුර ගද ගදිත තහුර ගද ඤුහිං
 දිං ගදගදිත තහුර ගද ගුං
 
 නැටුම තුළ එන ලාස්‍ය බවද කාණ්ඩව බවද නැටුමින් පමණක් සාර්ථක කිරීම දුෂ්කරය. මෙය බෙරයෙන් ද රැකිය යුත්තකි. ලාස්‍ය බවට බෙරය වැයීම ඉතා ඉවසිලිව, ඉඩ දී, ගුම් දී, ගැම්ම දී තාලය නොපෙලා, නොතලා සිරුමාරුවට කළ යුත්තේය. එසේ නොකළේ නම් ලාස්‍යයට වනුයේ මහ අන්තරායෙකි.
(c) Shilpa Sayura Foundation 2006-2017