මහාධිකරණය විසින් නිකුත් කරන රිට් ආඥා
 

නීතිය සැම විටම සර්ව සාධාරණ විය යුතුයි. එක් අයකුට එක් විදිහකටත් තවත් කෙනකුට තවත් විදිහකටත් දෙආකාරයකින් සැලකිල්ලකට භාජනය නොවිය යුතුයි යන්න රිට් ආඥාවකින් පාඨයෙන් අවධාරණය කරයි.

එහෙයින් නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී වරදවල් හඳුන්වා ඒවා විග‍්‍රහ කර ඊට අදාළ දඬුවම් ද නියම කර තිබේ. එයින් සියලු දෙනාටම නීතිය ඉදිරියේ දී යම් වරදකට ලැබෙන දඬුවම එක සමාන බව තහවුරු කර ඇත. ඒ තුළින් නීතියේ තිබෙන විනිවිද භාවය තහවුරු කරලීමට සමත් වේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි වරද හඳුන්වා දීමේදී ම එය විභාග කළ යුත්තේ කුමන අධිකරණයකදැයි දක්වා තිබේ. එහිදී මහාධිකරණයට සුවිශේෂී කාර්ය භාරයක් පැවරේ.

මහේස්ත‍්‍රාත් හා මූලික උසාවි (ප‍්‍රාථමික අධිකරණය, දිසා අධිකරණය) මගින් පනවන ලද දඬුවම් වලට විරුද්ධව ඉදිරිපත් වන අභියාචනා හා සංශෝධන සලකා බැලීම හා රිට් ආඥා නිකුත් කිරීම මහාධිකරණයක් තුළින් ඉටු කරලන කර්තව්‍යයන්ය. මෙම පළාත් පාලන ආයතනවලට විරුද්ධව රිට් ආඥා නිකුත් කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූ බලය පළාත් මහාධිකරණයට පවරා දී තිබේ.

ඉහත සඳහන් කළ ආයතන නීති විරෝධී ලෙස කටයුතු කරන ලදැයි සැක කෙරෙන අවස්ථාවලදී මේ රීට් ආඥා මගින් සහන ලබා ගැනීමට පුළුවනි. මෙහිදී පරිපාලන නීතියේ හරය වන සර්ව සාධාරණව යුක්තිය තුළ පිහිටා කටයුතු කිරීමෙන් බැහැරව කි‍්‍රයා කරන අවස්ථාවක දී දුක් ගැනවිල්ලට පත් කෙනකුට රිට් ආඥා මගින් සහන ලබා ගැනීමට මහාධිකරණයට අයදුම් කළ යුතුයි. එසේ අයදුම් කළ හැකි රිට් ආඥා වර්ග හතරකි. එනම්
1. සර්ටියොරාරි
2. මැන්ඩාමුස්
3. තහනම් නියෝග
4. කොවොරොන්ටොදැන්

1.සර්ටියොරාරි බි‍්‍රතාන්‍යයේ 17 වැනි සියවසේ සිටම පැවැතී ආඥාවකි. සර්ටියෝරාරි රිට් ආඥාව ලබා දෙන්නේ නීතියෙන් හිමි නොවන බලයක් පරිපාලන ආයතනයක් විසින් පාවිච්චි කරන ලදැයි සැක කරන අවස්ථාවකදීය. මෙහි දී එය ඔප්පු වුවහොත් පරිපාලන ආයතනය විසින් ගත් තීරණය මුළුමනින්ම නිෂ්ප‍්‍රභා කිරීමට මෙයින් බලය තිබේ.

2. මැන්ඩාමුස් කිසියම් ආයතනයක් නීතියෙන් යම් කාර්යයක් ඉටු කිරීමට බැඳී සිටිය දී එය ඉටු නොකිරීම හා අභිමතය පාවිච්චිය පැහැර හැරීම වැනි අවස්ථාවලදී ඔබට මැන්ඩාමුස් රිට් ආඥාව කි‍්‍රයාත්මක කර දෙන මෙන් අයදුම් කළ හැකියි. මෙම ආඥාව මගින් සංස්ථාවකට කි‍්‍රයාත්මක වීම සඳහා නියෝග ලබා ගත හැකි මුත් එය රජයට විරුද්ධව අයදුම් කළ නොහැකියි.

3. තහනම් නියෝගය ම් ආයතනයක් තමන්ට බලයක් නොමැති රාජකාරියක් ඉටු කරතැයි සිතන අවස්ථාවක එම ආයතනයට විරුද්ධව මේ තහනම් නියෝගය කි‍්‍රයාත්මක කළ හැකියි. මෙම තහනම් නියෝගය තුළින් සර්ටියොරාරි ආඥාව සිදු කරන ලද කි‍්‍රයාවක් නිෂ්ප‍්‍රභා කිරීමට අයදුම් කළ හැකියි. තහනම් නියෝගයක් මගින් බලාපොරොත්තු වන්නේ කිසියම් කටයුත්තක් කිරීමට පෙර එය වළක්වා ගැනීමේ සහනයයි. එනම් ස්වභාවික යුක්තිය කඩ කෙරෙතැයි සිතෙන අවස්ථාවක අයදුම් කර යෝජිත කාර්ය වළක්වා ගැනීම එහි පරමාර්ථයයි.

4. කොවොරොන්ටො පහළ අධිකරණ, ආයතනයක හෝ කි‍්‍රයාකාරිත්වය සමාලෝචනයට භාජනය කෙරෙන මෙම කි‍්‍රයා පටිපාටිය ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය නීති සහනයකි. පළාත් පලාන මැතිවරණ ඡන්දයක වලංගු බව ප‍්‍රශ්න කිරීමේදී බොහෝ අවස්ථාවල මෙම ආඥාව යොදා ගනු ලබයි.


(c) Shilpa Sayura Foundation 2006-2017