සද්ධර්ම රත්නාවලියේ රචනෝපක‍්‍රම
 

දඹදෙනි යුගයේ අගභාගයේ වැඩසිටි පඬිරුවනකි ධර්මසේන හිමි. උන් වහන්සේ විසින් රචිත සද්ධර්ම රත්නාවලිය සිංහල සාහිත්‍යයේ අග‍්‍රගන්‍ය කෘති අතරට අයත් වන්නකි. ’ආවලී’ යන්නට ’වැල’ යන තේරුම පාලිභාෂාවෙන් දෙයි. ඒ අනුව සද්ධර්ම රත්නාවලී යනු ’සදහම් රුවන් වැල’ යන තේරුම මින් ධ්වනිතවේ.

නුවණ මදවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පිංකම හැසිර නිවන් සාදාගනිත්නම් එසේ වූ සත් පුරුෂයනට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලී නම් ප‍්‍රබන්ධයක් කරම්හ’ යනුවෙන් මෙම කෘතිය කිරීමෙහි අරමුණ වශයෙන් දක්වා ඇත. ’පාලි ක‍්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කලා වූ නිබන්ධයෙහි’ යනුවෙන් උන්වහන්සේ ස්වතන්ත‍්‍රතාව ඉස්මතු කොට පෙන්වයි.පොදු ජනයාට වඩාත් සමීපවන අයුරින් රචනෝපක‍්‍රම තුලින් ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීම උන්වහන්සේගේ ප‍්‍රතිභාන්‍ය මනාව විෂද කිරීමකි.

* උපමා විචිත‍්‍රත්වය
* කථිත බස හා ලිඛිත බස අතර මනා සුසංයෝගය
* සරල භාෂාව
* ප‍්‍රති විරුද්ධ යෙදුම් යෙදීම
* ප‍්‍රායෝගික ජීවිතයට අදාළව කථාව ඉදිරිපත් කිරීම
* ශ‍්‍රාවකයාතුළ තෙරුවන් කෙරෙහි ගෞරවය ඇති කිරීම
* හාස්‍යය උපහාසය හා පාපගරහී දෘෂ්ඨිය
* ප‍්‍රස්ථාව පිරුළු ඉඟි වැකි හා යුගලපද යෙදීම
* සංවාද මගින් කරුණු ඉදිරිපත් කිරීම

යනුවෙන් නොයෙක් අංග යටතේ විස්තර කිරීමට හැකියාව ඇත. පූතිගත්ත තිස්ස තෙරුන්ගේ වස්තුව ගත්විට එහි අන්තර්ගත උපමා අවට පරිසරයෙන් ගත් ඒවාය. "හබ සා විතර සීන් තස් ඇතිවලා පසුව මුංසාව පසුව මෑ ඇට සාව පසුව ඇඹුල සාව පසුව බෙල්සාවලා පැසීගොසින් පැලී සිල්වන්නට වන සියල් සිරුර වේයන් නෑ පරමල පතක් මෙන් පිදුරු විසුදුරු විය."

ජීවිතයේ අස්තිර බව කීම අරමුණ කරගත් මෙම කථා වස්තුව තුළින් ඊට ගැළපෙන උපමා ද ඉතා විචිත‍්‍රය. විදුලිය දිය බුබුල තණග පිණිබින්දුව දියෙහි ඇදි ඉර යන මේවා ගැමියනට ඉතා සමීප දේවල්ය. ධර්මසේන හිමි අනිත් ලේඛකයන්ට වඩා සුවිශේෂ කථා ක‍්‍රමයක් ගොඩ නගා ගෙන ඇත. සෑම කථාවක් ආරම්භයේ දී කථාවෙහි ධර්මය හරය හකුළුවා අර්ථාන්විතව සෑම තේරුම්ගත හැකි පරිදි දැක්වීම උන්වහන්සෙගේ සුවිශේෂත්ත්වයයි.

"තව ද වෛර බැන්දවුන්ගේ වෛරය නිවාගන්නට බැරිව දාගෙන ගින්නක් බොහෝ පැන් ඇති තැනෙකට පැමිණ නිවෙන්නාසේ කරුණ නැමති දියෙන් පිරුණු සර්වඥ නැමති මුහුදට පැමිණ නිවෙන මුත් සෙසු ලෙසකින් නොනිවෙන නියාව දක්වන පිණිස කළිනම් යකින්නගේ වස්තුව දක්වමු......" යනුවෙනි. ප‍්‍රතිවිරුද්ධ යෙදුම් මගින් පාඨකයා රසවත් කිරීම ද උන්වහන්සේගේ වක් රචනෝපක‍්‍රමයකි. ඉන් ශ‍්‍රාවකයා වෙහෙසට පත් නොකරයි.

"ඇඟින් කුණුවුවත් රහත් වන්නට නිසි පින කුණුනොවන කෙළෙස් කුණට කැත ඇති පමණක් මුත් කෙළසේ වූ කුණට කැතයක් නැති සෙයින්" තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරය කුණු වුවත් රහත්වන්නට තිබෙන්නා වූ පින කුණු නොවන බව සඳහන් කරයි. එය ලෞකික සුවය අභිබවා ලබන ලෝකෝත්තර සුවයකි. එනම් නිවනයි.

කථා රසය තුළින් ධර්මාවබෝධය ලබා දීමට උත්සාහ කළ තවත් අවස්ථාවක් ලෙස මෙය ද සඳහන් කළ හැකිය. තිස්සතෙරුන්ට ජීවිතයේ නිසරුබව කියාදෙනු ලැබූයේ කැළයට හොත් ලී දඬු කපන අය කපා ඉවත දමන කෑලි පසුව එන අයට පා අළු ආදියට ප‍්‍රයෝජන වූවත් කුණුකොටස් තිස් දෙකකින් යුතු ශරීරය එබඳු ප‍්‍රයෝජනයටත් ගත නොහැකි බව ද සිරි යහන්වල නිදාගත්තත් මළ පසු දවන ලද ශරීරයේ අලු පොළොවටම එක්වන බව ද පොදු ජනයාට ඒත්තු ගන්වමිනි.

ශ‍්‍රාවකයා තුළ තෙරුවන් කෙරෙහි ගෞරවය ඇති කරන අතර හාස්‍යය හා උපහාසය ද නොඅඩුව ලබාදෙන කරුණු ද මෙම කෘතිය තුළ අන්තර්ගතය.

කතුවරයා තුළ පැවති මානුෂිකත්වය පිළිබඳ දෘෂ්ඨිය නොඅඩුව විෂදවන අවස්ථාවක් පූතිගත්ත තිස්ස තෙරුන්ගේ වස්තුවෙන් පෙනේ. තිස්ස තෙරුන් පෙර ආත්මයේ කුරුළුවැද්දෙකි. ඔහු සතුන්ගේ කකුල් ඇට බිද දැමීය එනිසා ඔහුගේ ද ඇටකටු බිදිණි. බොහෝ ප‍්‍රාණවධ කළේය. එනිසා ශරිරය කුණුවිය. නමුත් තමාට පරපුරෙන් හිමි වූ ජීවනෝපාය නිසා වෙනත් කරන්නට දෙයක් නැතිකමෙන් ඔහු එම කටයුත්තෙහි යෙදේ. දිනක් ඔහුගේ නිවසට රහතන් වහන්සේ නමක් පිඬු සිඟා වඩී.

"අනේ මම බොහෝ ප‍්‍රාණවධ කළෙමි. මුන් වහන්සේ මගේ ගෙදරට සිඟාවැඩිසේක ගෙයි මස් රසයකුත් ඇත. මසවුලෙන් යුක්ත කොට බතක් දන් දෙමියි ආරාධනාකර පාත‍්‍රය හැරගෙන මස් රසය සමඟ බත් පිළිගන්වා පසඟ පිහිටුවා වැද ප‍්‍රාර්ථනාවක් කරයි. ස්වාමීනි නුඹවහන්සේ ලත් නිවන් රස මාදුන් මස් රසයෙහි මුඛ්‍ය විපාක වශයෙන් මටත් වෙව."

ඔහුගේ ශරීරය කුණුවුවත් රහත් වන්නට හැකිවූයේ මේ පින නිසාය. වැරදි සිදුවන්නේ මිනිසුන් අතිනි. නමුත් ඒ බව වටහාගෙන තමාට ඉඩක ලද විටදී යහපත් වැඩෙහි යෙදෙන්නේ ද මිනිසුන්මය. මේ තුලින් මිනිසුන්ගේ චිත්ත ස්වභාවය මිනිස් ස්වභාවයේ සංකීර්ණත්වය මනාව පිළිබිඹුවේ.

මේ තුළින් භික්‍ෂූන් වහන්සේලාට ද උතුම් ආදර්ශයක් දෙනු ලබයි. සබ්බභූත හිතානුකම්පී දෘෂ්ඨියකින් යුතුව පොදු ජනයා කෙරෙහි පිහිට වීමයි.කුම්භ ඝෝෂක කතා වස්තුවේ එන පුරශ‍්‍රීයගේ කථාව දක්‍ෂ බව කියා පෑමට දැක් වූ ප‍්‍රස්තාව පිරුළු තුලින් ද මෙම හිමියන්ගේ රචනෝපක‍්‍රම තව තවත් විෂද වේ. "හුරු තුඩ සිවැල් තැබුවාසේ" යනුවෙනි. ඉඟි වැකි මඟින් ද සිය අභිමතාර්ථ සාධනය කර ගැනීම ද තවත් එක් අවස්ථාවකි. කුම්භ ඝෝෂක කථා වස්තුවේ එන උත්සවයට සතළිස් කෝටියෙන් තුන්මස්සක් ගෙනාවේ "දර දියට බදුවලා" යන ඉඟි වැකිය ද මතු කරමිනි.

"පූර්ණ කුම්භ කෘති වූ කුම්භ ඝෝෂකයෝ නම් තෙපි ද" යනුවෙන් සඳහන්වේ.

ගැමිවහරේ එන යෙදුම් ධර්මසේන හිමියන් අවස්ථානෝචිතව යොදා ඇත. ඉඩවාඩයක් මුසුප්පු ඉනිපත්තච පෙරාතුව ඈත මෑත බලා මේ වදන යෙදීම තුළින් උන්වහන්සේගේ සුවිශේෂත්වය ඉස්මතු වේ. සිංහල ගැමියන් වෙහෙස කර තත්ත්වයට පත් නොවීය කියන දෙය මනාව අවබෝධකරගත්හ. පාලියෙන් ගත් කථා ඒ අයුරින් ම නොකියා ගැමියන්ගේ අභිරුචිය අනුව වර්තමාන කථා ව්‍යවහාරයෙන් සරළව සුගමව කීම තුළින් වහා අවබෝධවන බව එතුමෝ අවබෝධ කොටගෙන ඇත.

පටාචාරා කථා වස්තුවේ එන මෙහි වැකියෙන් වැකිය ගලා ගිය ආකාරය ඉතා නිරවුල් ය. පාඨක සිතට වැකියක් වැකියක් පාසා කුතුහලය පිවිසෙයි. "සිටු දූවණියෝ ද දෙවන දවස් කිළුටු අදහස් සේම කිළිටු කඩරෙද්දක් කොයින්දො සොයා හැදගෙන කි‍්‍රයාවෙන් තුම්ජාතිවූවත් ජාතීන් හා සම්පත්තීන් උතුම් තරම් ඇති සිටු දුවණියන් රෙදි කඩකින් වසා ලූ මැණිකක් පරිද්දෙන් කැඳවාගෙන" මෙම වාක්‍යය ප‍්‍රබල අරුත් දනවන සුළුය. අගනා මානික්‍යයක් රෙදිකඩකින් වැසුවත් ඔතා තිබුණෙමුත් එහි අගය කිසිදා අඩුනොවේ. පටාචාරාවන් ද මැණික් හා සමානවේ. අවසන නිවන් අවබෝධ කර ගැනීමට ඇයට පින ඇති බැව් ව්‍යංගාර්ථයෙන් දක්වා ඇත.

සිංහලයෙ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සද්ධර්මරත්නාවලිය පිළිබඳ "සිංහලයේ නැගීම" නම් කෘතිය තුළින් මෙසේ අදහස් පළකරයි.

"බුත්සරණ පූජාවලිය යන ග‍්‍රන්ථයන් රචනයට ඉවහල්වුණු ධර්මදේශකයන්ගේ භාෂාව කථා කිරීමට ඉතා උචිත බසක් සේ සකස් කරණ ලද්දේ සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියන් විසිනි. ඔවුන්තරම් කථා කීමේ සූරයෙක් පැරණි සිංහල ග‍්‍රන්ථකාරයන්ගේ පරපුරෙහි නොවීය......."

(c) Shilpa Sayura Foundation 2006-2017