පළමුවැනි ජවනිකාව
 

(කථක රොබෝ අඳුරට වැදී නොපෙනී යයි. ගැටබෙරයක හඬ ඈතින් මතු ව ඇසෙයි. වේදිකාවේ තිරය විවර වෙයි. මුළු පරිසරයම වසා ගන්නට මෙන් ඉහළට නැගි රෑස්ස නුග රුකක් වේදිකාවේ මැද ගැඹුරේ වෙයි. පැරණි සිංහල කොඩි අතර, සාම්ප්‍රදායික චිත්‍ර අකුරින් "මධ්‍යම ලංකා රංග සභා" පුවරුව දිස්වෙයි. නිහඬ කල්පනාවක ගැලෙමින් හාන්සි පුටුවක වාඩිගත් රංබරණා ගුරුන්නාන්සේ ගේ දෙතොලට කවි පදයක් ද දෑතට බෙර පදයක් ද එක්වෙයි. මොහොතකින් එහි ඇතුළු වන ගුණවංශ නිසොල්මනේ බලා හිඳියි.)
 
රංබරණා : ..පුතා නැතු ව කුමටද රජ සැපත දෙවියනේ-අදසිතාගෙනම ආවේ රජු මරණ විලසිනේ
 පතාගෙන ම පූරුවෙ පෙර කරිමයකි අනේ-මගේ පුතා ඉතින් නොදැක යාය ප්‍රාණෙ විගසිනේ.....
 
 .....ආ ගුණවංශ...හුඟවෙලා ද උඹ ඇවිත්?
 
ගුණවංශ : රංබරණා මාමා කවි පදටක් ගොතනව වගේ?


රංබරණා : ඔව්...මෙන්න මේ චත්‍රපාණි කතාව නටන්ටෙයි කියලා මෙදා පාර බක්මහට. මට දැං මතකත් නෑ ඔය ඒ සංදියෙ නටපුවා.
 
ගුණවංශ : පොතක පතක ලියලා තියෙනව කියල යෑ?
 
රංබරණා : මොන? අපෙ හත්මුතු පරම්පරාව ම කටෙන් කටටගෙනාපුවා. වාඩිවෙයං...මම මේ මඟ බලාගෙන ඉන්නෙ අපෙ බාලයගෙ පොඩි එකා රනකල්. හේතු...ඉස්කෝලෙ ගිහිල්ලා ගෙදරට එනකල් ඇගේ ලේ නෑ ගුණවංශ.
 
ගුණවංශ : බාල බණ්ඩාර මලයා එපායෑ ගිහිල්ලා පොඩි එකා ව ගේන්ට.
 
රංබරණා : මොන! ඇඟෙන් පතෙන් වැඩුනට ගුණවංශය, බාලයට නෑ කිසිම ගාණක් උගෙ දරුවා ගැන. අම්මත් ගෙදර නැති කිරිසප්පය කියල, මම මේ උදේ හිටන් පපුව පත්තුවෙච්චි ගමන්.
 
ගුණවංශ : පොඩි එකාටත් දැං අප්පච්චිට වඩා කිට්ටුයි ලොකු අත්ත ව!
 
රංබරණා : උඹට කියන්ට ගුණවංශෙ...බාලබණ්ඩාරයා මගෙ පුතා වුනාට මොකද, කවදාහරි මගෙ තනි නොතිනියට ඉන්නෙ ඔය මුණුපුරා තමයි ඔන්න.
 
ගුණවංශ : මට නං හිතෙන්නෙ, ගුරුන්නාන්සෙ මාමගෙ මේ ශිල්ප සාස්තරේ අරං යන්නෙත් කවදාහරි ඔය මුණුපුරා තමයි කියල. මොකද බාලබණ්ඩාර වැටිලා තියෙන්නෙ වෙනත් පාරකට.
 
රංබරණා : මොනව කරන්න ද ගුණවංශෙ... උගේ ම මානාපෙන් පෙළවහක් කරගත්තා. දරුවෙක් උපන්නා. අපේ පිළිවෙළ පැළැන්තිය රුස්සන්නෙ නෑ කියල උගෙ අඹුව ගෙඳරින් යන්ට ගියා. ඕවා ඉතිං පතාගෙන කියාගෙන ආපු විදිය තමයි. 
 
ගුණවංශ : ඉඳල හිටල ලේලි එනවා නේද මේ පැත්තෙ?
 
රංබරණා : එනව එනව...හිටපු ගමන් බාලබණ්ඩාරත් එක්ක ම දරුවා බලන්ට එනවා. හැබැයි මට වැඩිය මූණදෙන්නෙ නෑ. මොනවාහිරි ජරමර කෑමක් ගෙනැල්ල තම්බාගෙන දරුවටත් කවල පොවල යනවා....ඔය බටහිර පන්නෙට හැඬ ගෙහුණු උදවියනෙ...!
 
ගුණවංශ : කෙහේද දැං ඉන්නවයි කියන්නෙ?
 
රංබරණා : ඔය නුවර ටවුමෙයි කියන්නෙ.
 
ගුණවංශ : මාමටත් තියෙන්නෙ ටිකක් අවවාද කරල බලන්ට.
 
රංබරණා : මොන! තමුන්ගෙ අඹුව හදාගන්න එක තමුන්ගෙ වැඩක්. පුතා හරියට හදාගන්ට බැරිවුන එකේ...මම මුණුපුරා හරි හරියට හඳාගන්නවා.
 
ගුණවංශ : බාලබණ්ඩාරගෙ අදහසුත් ඉස්සර වගේ නෙවි දැං.
 
රංබරණා : ඔව්..ඔව්..මමත් අහගෙන දවසක්දා කෑ කොස්සන් ගහනව....මේ රංග සභාවක් මොකද්ද මේ...මොකද්ද නවීකරණයක් කරන්ට ඕනෑ ද මොකද්ද කියල.
 
ගුණවංශ : නවීකරණය නරක නෑ මාමෙ. නමුත් ඔය බාලබණ්ඩාරලා කියන විදිහට හදිස්සියේ නෙවෙයි. 
 
රංබරණා : අපේ රාජකාරියේ හැටියට අපි කොහොමද එක පාරට ම අලුත්වෙන්නෙ? රාජ ආඥාවෙන් පැවතගෙන එන රාජකාරි ක්‍රමය ගැන උඹ දන්නවනෙ ගුණවංශෙ. ඒකට හරියන්ට ගොයිතැං බතක් කරගන්ට තමයි ඔය කුඹුරු වපසරියක් අපට කැප කරලා තියෙන්නෙ.
 
රංබරණා : ඒ කාලෙ නං ඉතිං රජ්ජුරුවන්ගෙයි නිලධාරින්ගෙයි ආඥාදායකත්වය උඩනෙ රාජකාරිය කෙරුනෙ. දැං ඕවා වෙනස් කරන්ට ඕනෑ මාමෙ අපේ අනිත් ඉල්ලීම් දිනා ගත්තා වගේ ම මොකද දැං තියෙන්නේ ජීවත්වීමේ හටන.
 
රංබරණා : අනේ ඒකට ම අපේ පුංචි සන්දිය...මං අකුරු කෙරෙව්වෙ පංසලේ, නායක හාමුදුරුවෝ උදේ වරුවට අපි කොල්ලො කුරුට්ටො දහපාළොස් දෙනෙකුට ගාථා සොලොක වන පොත් කොරෝනව. වැලිපිල්ලෙ අකුරු ලියෝනව. කොළදිං කාලෙට ඉතිං පංසලේ කුඹුරේ ගොයම් කපනව. බැත පාගනවා. හවස්ජාමෙට ඉතිං කමත වටේ නැටුං.
අප්පච්චියේ නටපු නැටිල්ලක්...සොකරි! කිඳුරු !!
 
 බෝ සිරින් වත පුන්පතින් තිසරුන්
 එරන් බිඹුපල මෙනා
 සෝබනින් මුව දන්තයන් දිසි
 එගනරන් අකුසෙව් මෙනා
 නාලොවින් කන්‍යා ලියන් බටු
 අන්දමින් රුසිරෙන් දිනා
 මේ බලන් කිඳුරන් රැඟුම් සලෙළුන්
 නුවන් හරිමින් මනා
 (හදිසියේ හටගත් කැස්සක් නිසා ඔහු පපුව ද අල්ලාගෙන වාඩිවෙයි)
 දැං බෑ ගුණවංශෙ...මේ පපුවෙ හතිය.
 
ගුණවංශ : මාමලා මුළු ජීවිතේ ම ගෙවලා තියෙන්නෙ අනුන්ට. දැන්වත් ඔය රාජකාරිය අපිට ඕනෑ විදියටහැඩගස්වාගන්ට බලන්ට ඕනෑ මාමෙ.
 
රංබරණා : එහෙම බෑ ගුණවංශෙ, දළදා පෙරහැරේ පළමුවෙනි ඇතාගෙ පිට උඩ එන පෙරමුණේ රාළගෙ අතේ තියෙන්නෙ හස්ත කරදාසිය. රාජකාරිය පිළිබඳ ව පොරොන්දු පත්තරේ තමයි රජ්ජුරුවන්ගෙ අණ යොදලා ඕකෙ තියෙනවයි කියන්නෙ.
 
ගුණවංශ : දැං ඕවා වෙනස් වෙලා මාමෙ, සමහර රාජකාරි ඉඩං මුදලාලිට විකුණලා.
 
රංබරණා : ඔව් නමුත් වතාවක් ගෙලිඔය මුස්ලිම් වෙළෙන්දෙක් එහෙම ඉඩම් සල්ලි වලට අරගෙන රාජකාරියට යෝනකයෝ යවපුව ම, නිලමෙ ඉඳගෙන උන් ව පන්නලා යවලා තියෙනවා.
 
ගුණවංශ : කුඹුරු පනතෙන් කරපු ඉඩම් පෙරළිය වගේ, ඔය වැඩවසම් රදළක්‍රම අහෝසි කරලා, අපේ සංස්කෘතියට ගැළපෙන සම්ප්‍රදායක් ගොඩ නගාගන්ට මාමලා අත්තිවාරම් කපන්ට ඕනෑ.
 
රංබරණා : ඕං...ඕං... උඹේ දේශපාලනේ ! ගුණවංශෙ කොයි විදියට අඹරලා උඩ් දැම්මත් ගෙම්බා බිම වැටෙන්නෙ හතරගාතෙ කෙළින් තියාගෙන. කොහෙන් චණ්ඩ මාරුතේ හමාගෙන ආවත් දෙපයින් නැගී හිටින්ට අපි වීරිය ගන්ට ඕනෑ.
 
ගුණවංශ : මාමලා ඔහොම හිතන කොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.
 
රංබරණා : මොනවට නැහෙනව ද බං? බලහං අපේ කාලයේ අද දවස ගත කරන්නෙ කොයිතරම් නිවීහැනහිල්ලෙ ද? කුඹුරක් ලියද්දක් කොටාගෙන, වී ඇටයක් හාල් ඇටයක් තම්බගෙන, පදයක් දෙකක් නටාගෙන.
 
ගුණවංශ : හැබැයි මාමෙ හෙට දවස මීට වෙනස්. අපි කල්පනාවෙන් සූදානම් වෙන්ට ඕනෑ.
 
රංබරණා : මොනවද ගුණවංශෙ... අවුරුදු හැටක් පණ නල ගැටගහගත්තු එකේ, හැට එක්වෙනි අවුරුද්ද ගැන විතරක් අලුතින් හිතන්නෙ? පරම්පරා හත අටක් ම රැකුණේ මේ ශිල්ප සාස්තරෙන් නෙවීද?

(c) Shilpa Sayura Foundation 2006-2017