තලමල පිපිලා පූර්ව රංගනය
(වේදිකාවේ තිරය මඳක් විවර වෙයි. එතුළින් ඉදිරියට එන රොබෝ යන්ත්‍රයක්, සිය විද්‍යූත් නාද තරංග සහ ආලෝකධාරා විහිදුවමින් කිසියම් ප්‍රකාශයක් නිකුත් කරයි.)
කථක රොබෝ : ආයුබෝවන් ! අද ක්‍රිස්තු වර්ෂ හාරදහසක් වූ අප්‍රියෙල් පළමුවෙනි ඉරිදා......රොබෝ මිත්‍රවරුනි, අද මගේ ඉදිරිපත් කිරීම "ඓතිහාසික වටිනාකම්" මේ යටතේ අපි අද ඉගෙන ගන්නා වචන දෙක "සම්ප්‍රදාය සහ හැගීම."
මීට වසර බොහෝ ගණනකට පෙර පෘථිවියේ වාසය කළ "මිනිස්සු" කියන සත්ත්ව කොට්ඨාශය අපි වගේ නෙවෙයි. දහ දෙනෙක් ගත්තොත් දහ විදිහක්. රූපෙනුත්, අදහස් වලිනුත්.
අනික් කාරණය ඒ අයට තිබිලා තියෙනවා "හැඟීම්" කියල දෙයක් අපට නැති. මේ හැඟීම් කියන දේ ටිකින් ටික දියවෙලා ගිහින් පරිණාමය වෙලා අපි ව නිර්මාණය වුනයි කියලයි ඇතැම් රොබෝ ඉතිහාසඥයෝ පවසන්නේ. ඒ ගැන අපිට මොකුත් ම කියන්ට බෑ. මොකද ඒ ගැන හැඟීමක් අපට නැති නිසා.
අනික් වචනය තමයි "සම්ප්‍රදාය".පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන පැමිණි, කාලයේ ප්‍රවාහය ගං දෑලේ ඉතුරු කරල තියෙන රොං මඬ නටඹුන් අතරේ තමයි මේ "සම්ප්‍රදාය" කියන වචනය හිරවෙලා තිබුනෙ.
ඉතිං හැඟීමක් හෝ සම්ප්‍රදායක් අද අපට නැතත් ඉතිහාසය හැදෑරීම අපේ අනාගතයට සහ ශරීර සෞඛ්‍යයට හිතකර වේවි. සවන් දෙන්න.
කාලය : විසිවෙනි සියවසේ දෙවෙනි කාර්තුව
ස්ථානය : සෙංකඩගල පුර මැද මහනුවර.