කෝලම් ගී වල සංස්‌කෘතික පසුබිම
 ශී්‍ර ලංකාවේ දකුණු ප්‍රදේශය තුල ප්‍රචලිතව විකාශනය වූ ගැමි නාටක විශේෂයක්‌ ලෙස කෝලම් නාට්‍ය ශෛලිය හැදින්විය හැක. කෝලම් සම්ප්‍රදායේ ආරම්භක යුගයේ එහි මූලික පරමාර්ථය වූයේ ප්‍රේක්‌ෂකයා හාස්‍යයෙන් පිනවීමයි. එකල සමාජයේ තිබූ ඇතැම් දුර්වල තැන් උපහාසයට ලක්‌ කරමින් ඒ පිළිබඳව සමාජය දැනුචත් කිරීම කෝලම් නාට්‍ය සම්ප්‍රදාය තුලින් සිදු විය. මෙම කෝලම් නැටුම් සඳහා පහත රට ශාන්තිකර්මයන්හිදී උපයෝගී කොට ගන්නා වෙස්‌ මුහුණු, ගායන, වාදන, නර්තනයන් ආදියෙහි අණුකරණයක්‌ ඇති අයුරු දැකිය හැක.

කෝලම් නැටුම් බැලීම තුලින් බොහෝ ලෙඩ දුක්‌ අපල උපද්‍රව දුරු කර ගැනීමට හැකි බව කියැවේ. තෙරුවන් ගුණ අරබයා පහන් පැලක්‌ ඉදි කර වතාවත් පවත්වා නැටුම් දක්‌වනු ලබයි.

පොතේ ගුරු ඇතුළු අත්වැල් ගායකයින් පමණක්‌ වෙස්‌ මුහුණු නොපලදින අතර අනෙකුත් සියළු චරිත වෙස්‌ මුහුණු පලදිති. පළමුව පොතේ ගුරු හෙවත් සබේ විදානේ වේදිකාවට පිවිස, කවියෙන් කෝලම් උපත කියා අවසානයේ චරිත හඳුන්වා දීමෙන් පසුව අදාල චරිත වේදිකාවට පැමිණ සබයෙන් අවසර ගනී.

කෝලම් නාට්‍ය සඳහා යොදා ගනු ලබන භාණ්‌ඩ අතර පහත රට බෙරය හෙවත් දෙවොල් බෙරය (යක්‌ බෙරය) සහ තාලම්පට ප්‍රධාන වේ. අම්බලන්ගොඩ, බෙන්තර, පොකුණුවිට, මිරිස්‌ස ආදී ප්‍රදේශ කෝලම් සඳහා ප්‍රසිද්ධය. හේවාරාල කෝලම, ආරච්චි කෝලම, මුදලි කෝලම, පොලිස්‌ කෝලම, ආඬි කෝලම, අත්තමුත්ත කෝලම ආදී කෝලම් ප්‍රසිද්ධ අංග අතර වේ.

කෝලම් ගී (ජසයා ලෙංචිනා කෝලම)

ගම්බිර කාලීංග නුවර –- නරිඳුගෙ වාසල තුළ සිට
(ඉන්න දනා සේම සොඳට - සෝදා සළු පිළි යසට) //
ඉන් නරනා තැබූ මට නම - පේඬි විදානේ යන්නට
(මේ මෙතනට ආම් වියන් - බඳිනට නරනිඳු එනවිට) //

ගම්බිර මහ නිරීඳු සමඟ –- උතුමන් වැඩ මවන බැවින
(සුන්දර උඩු වියන් දවල - –වටතිර පාවාඩ එළන) //
මෙන්වර ලැබ ආමි මෙතන – මහතුඟ අවසර යදිමින
(පෙම්බර මගෙ පියඹ සහය – නැත මට ආගිය කිසි තැන) //

ගම්වැල හැමතැන – ඇවිද ගොසින්
වෙල්ලෑවට රෙදි අරගෙන යන්නේ
ඇද ඇද පිරුවට –- වියන් බැඳින්නේ
පේඩි රාල දැන් - සබේ නටන්නේ