වීරෝදාර වාරියපොළ සුමංගල හිමි
 

වසර දෙදහසකට අධික කාලයක් උදාර මානව ශිෂ්ටාචාරයක් උරුම ව සිටි සිංහල ‍බෞද්ධ ජනතාවට වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින අතිශය සංවේග ජනක දිනයක් විය. ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ආක්‍රමණිකයින් අතට පත් වූ අතර උඩරට රජ පරපුරේ අන්තිමයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 පෙබරවාරි 18 වැනි දින ඉංග්‍රීසීන්ගේ සිරකරුවකු බවට පත් විය. රජුගේ කෲර පාලනය නිසා කෝපයට පත් ව සිටි සිංහල පිරිසක් විසින්ම රජු අල්ලා දෙන ලදී.

එසේ වුව ද එතෙක් රැක ගෙන ආ සිංහල රාජ්‍යය හා බුද්ධ ශාසනය පිළිබඳ අතීත උරුමය හා අයිතිවාසිකම්වල ආරක්ෂාව සහතික කැරෙන ගිවිසුමකින් තොර ව රටේ පාලන බලය ඉංග්‍රීසීන්ට භාරදීමට සිංහල බෞද්ධයෝ කැමති නොවූ හ. එම ගිවිසුම අත්සන් කිරීමටත් දෙපක්ෂයේ ම කොඩි එකවර ඔසවා ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමටත් නියමිතව තුබුණේ 1815 මාර්තු 02 වැනිදා යි.


ගිවිසුම අත්සන් කිරීමට මහනුවර මඟුල් මඩුව යොදා ගෙන තිබුණ ද ජාති හිතෛෂි සිංහල බෞද්ධයන්ට නම් එය අවමංගල්‍යයක් ම විය. මඟුල් මඩුව අබියස රාජකීය මහමළුවේ එක් පසෙකින් සිංහල සෙනෙවිවරු වූහ. අනෙක් පසින් ඉංග්‍රීසි සෙනෙවිවරු වූහ. දෙපක්ෂයේ ම කොඩි එකවර එසවීමට සූදානම් ව තිබිණි. මඟුල් මඩුව තුළ සිදුවෙමින් පැවති ගිවිසුම අත්සන් තැබීමේ කටයුතු තවමත් අවසන් ව නැත. එහෙත් හදිසියේ ම ඉංග්‍රීසි කොඩිය අහසට නැඟිණි. ජයග්‍රහණයත් බලකාමයත් නිසා උද්දාමයට පත් ව සිටි ඉංග්‍රීසි යුද සෙබලෙක් එම කොඩි එසවී ය. නීතියටත් සදාචාර ප්‍රතිපත්තිවලටත් එකඟ නොවූ මේ ක්‍රියාවෙන් කරන ලද්දේ සිංහල ජාතියටත් බෞද්ධයාටත් මහත් ම අවමානයකි. එසේ වුව ද ඊට විරෝධය පෑමට තරම් එතැන සිටි වගකිව යුතු එක ද ගිහියෙක් වත් එඩිතර නොවී ය.

ගිවිසුම අත්සන් තැබීමට පෙර ඉංග්‍රීසි කොඩිය අහසෙහි ලෙලදෙනු දුටු එක් ස්වාමීන් වහන්සේ නමකගේ ගත වෙවුලා ගියේ ය. මුහුණ රතු විය. යුද අවි රැගෙන සිටි ඉංග්‍රීසි හේවායන් උන්වහන්සේට අමතක විණි. සිංහල ජාතිය පිළිබඳ අභිමානයෙන් ඔදවත් වූ උන්වහන්සේ ඉංග්‍රීසි සෙනෙවිවරුන් ඉදිරියට පැමිණියේ කේසර සිංහයකු මෙනි. පැමිණ මෙසේ කීහ.
“මේ සිංහල රට තවමත් අයිති අපට යි. ගිවිසුම අත්සන් තැබීමට කලින් තොපගේ කොඩිය එසවීමට ඉඩදෙන්ට බැහැ. එය එසවිය හැක්කේ ගිවිසුම සිංහලෙන් ද කියවා අත්සන් තැබීමෙන් පසුව යි.”

මේ අභීත ප්‍රකාශය කළ උන්වහන්සේ එකෙනෙහි ම ඉංග්‍රීසි කතිර කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය එසවූ හ. තව සුළු මොහොතකින් ඔවුන්ගේ පාලන බලයට ටත් වන බව දැන දැන ම සිය ජීවිතය ගැන පවා නොතකා සිංහලයාගේ අභිමානය ප්‍රදර්ශනය කරමින් මේ අභීත වීර ක්‍රියාව සිදු කළේ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේ යි. එම ක්‍රියාවෙන් කෝපයට පත් ඉංග්‍රීසි සෙනෙවියා සිය අසිපත ගෙන මෙම වීරෝදාර සිංහල බුද්ධ පුත්‍රයා මත හෙලන්නට සූදානම් වුව ද තම පක්ෂයේ වරද වටහා ගත් ජෝන් ඩොයිලිගේ මැදහත් වීමෙන් එය වැළකිනි.

ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ උපන් ගම වූ වාරියපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත් පත්තුවට අයත් වූව කි. උන්වහන්සේගේ ගිහි නම බමුණකොටුවේ රාලගේ කිරිහාමි ය. මෙම අතිජාත වීර පුතණුවන්ගේ පියාණන් වූයේ හේරත් මුදියන්සේලාගේ බමුණූකොටුවේ රාලයි. මහනුවර අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වූ කිරිහාමි කුමරා එතැන් සිට වාරියපොළ සුමංගල යන නමින් හැඳින්විණි. පැවිදි වන විට එතෙක් භාවිත කළ ගිහි නම අත්හැරීම ලංකාවේ ශාසනික සම්ප්‍රදාය යි.

උපසම්පදාවෙන් පසු ශාසනික තනතුරු කිහිපයක් ම දැරූ වාරියපොළ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ට පැවරෙන අවධිය වනවිට අස්ගිරි විහාර පාර්ශවයෙහි අනුනායක පදවිය දැරූ හ. මහනුවර සුදුහුම්පොල රජමහා විහාරයෙහි අධිපති පදවියත් වාරියපොළ පුරාණ රජමහ විහාරයෙහි අධිපති පදවියත් හෙබ වූ උන්වහන්සේ ජාතිකානුරාගයෙන් හා ශාසනික හැඟීමෙන් අනූනව වැඩ සිටි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකි.

කවර බාධක හිරිහැර කරදර පැමිණිය ද සිය උදාර අරමුණු ඉටුකර ගැනීම සඳහා බුද්ධිමත්ව හා ධෛර්යමත්ව ක්‍රියා කිරීම වීරවරයන්ගේ ලක්ෂණයයි. එබඳු ලක්ෂණ වලින් යුක්ත වූ වාරියපොළ ස්වාමීන් වහන්සේ ලක් දෙරණෙහි අහිමි වී ගිය සිංහල රජ තනතුර යලිත් ඇතිකර ගැනීමේ උපක්‍රම යෙදූහ. ඒ සඳහා පළමුව කළේ සිංහල රාජ්‍ය උරුමයේ සංකේතය වූ ශ්‍රී දළඳා වහන්සේ දළඳා මාලිගයෙන් පිටමං කිරීමයි. සිංහල බෞද්ධයකුට දළඳා වහන්සේගේ අයිතිය පවරන තුරු එය ආරක්ෂා කර ගැනීමේ භාරදූර වගකීම උන්වහන්සේ තමන් වෙත ම පවරා ගත් හ. ඒ වෙනුවෙන් අපමණ කරදර හිරිහැර දුක් පීඩාවලට මුහුණ දුන්හ.

දළඳා වහන්සේ සඟවාගෙන කලක් අස්ගිරි මැද විහාරයට වී වැඩ සිටි වීර සුමංගල හිමියෝ එහි ආරක්ෂාව ප්‍රමාණවත් නොවූයෙන් දඹුලු විහාරය අසල කැලෑවට වැඩියහ. තම සිවුරේ උඩු වාටියේ (නුවාවේ) සඟවා ගෙන සිටි දළඳා වහන්සේට හැකි පමණින් පුද සත්කාර කරමින් සිය පණ දෙවැනි කොට ආරක්ෂා කළහ. උන්වහන්සේ කොතරම් දුෂ්කර ජීවිතයක් ගත කළාහු දැයි පුස්කොළ පත් ඉරුවක සටහන් ව ඇත්තේ මෙසේය.

“රට භාර දී දළඳා වහන්සේ ගෙන දඹුළු කැලේ වැඩ සිටින ප්‍රස්ථාවේ දී නව පැය වේලාවට අහර පූජාවට යමක් නැතුව සිටින ප්‍රස්ථාවට........ ගිරවකු විසින් එ ඉදිරිපිට දැමූ මී අඹ පලයෙන් පූජාව සිද්ධ කර තමන් වහන්සේත් වැළඳුවා ය.”

වාරියපොළ ස්වාමීන් වහන්සේ මෙවන් දුෂ්කරතා මැද වන ගත ව දළඳා වහන්සේ ආරක්ෂා කරද්දී තමන් වෙත දළඳා වහන්සේ භාරදෙන ලෙස සුදු ජාතිකයෝ නියෝග කළහ. ඔවුහු ඇතැම් වගකිව යුතු ස්වාමීන් වහන්සේලා සිර භාරයට ගත්හ. දළඳ‍ා වහන්සේ භාර නොදීම නිසා අනෙක් භික්ෂූන් වහන්සේට පාලකයන්ගෙන් පැමිණෙන හිරිහැර ගැන වාරියපොළ හිමියෝ සැළකිලිමත් වූහ. සම්ප්‍රදායානුකූලව දළඳා වහන්සේට සියළු පුද සැලකිලි කරන බවට සුදු ජාතිකයන් පොරොන්දු කරවාගෙන ඔවුන්ට භාර දුන්හ.

“ දළඳා වහන්සේ නැතුව සංඝයා සිර භාරයට ගෙන සිටින ප්‍රස්ථාවට අන්තරාවක් නොවන බව දැන වදාරා භාර දුන්නාය.”

එම සිද්ධිය පුස්කොළ පත් ඉරුවක සටහන් ව ඇති අයුරුයි ඒ. එහෙත් උන්වහන්සේට අවශ්‍ය වූයේ දළඳා වහන්සේට පුද සත්කාර කරවීම පමණක් නොවේ. සිංහල බෞද්ධ රජ තනතුරේ පරම සංකේතය සිංහල බෞද්ධයකුට ලබා දී උඩරට සිංහල රාජ්‍යය යලි ඇති කිරීමයි. ඒ නිසා යලිත් දළඳා වහන්සේ මාළිගයෙන් පිට කර ගත්හ. 1818 කැරළි සමයෙහි වීර කැප්පෙටිපොළ වෙත දළඳා වහන්සේ භාර කරන ලද්දේ උන්වහන්සේගේ මෙහෙයවීමෙනි. එහෙත් උන්වහන්සේගේ කැපවීමේ ප්‍රථීඵල ලැබීමට එදා අපේ සිංහල බෞද්ධයාට භාග්‍යයක් නොවීය. බලාපොරොත්තු නොවූ පරිදි 1818 නොවැම්බර් 02 වැනිදා දළඳා වහන්සේ ද සමග වාරියපොළ සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේ අත් අඩංගුවට ගැණීනි. එය සිදු වූයේ මාතලේ කයිකාවල මුර පොළේ දීය.

මේ වීරෝදාර සිංහල බුද්ධ පුත්‍රයා ඉංග්‍රීසීන්ගේ යුද අධිකරණය හමුවට පැමිණවීය. චෝදනාව වූයේ 1818 කැරළි සමයෙහි මහනුවර දළඳා මාලිගාවේ තැන්පත් කර තුබුණු දළඳා වහන්සේ සොරා ගෙන යෑමට සහභාගි වීමයි. ඔවුනගේ අධිකරණය විසින් වරදකරු බවට පත් කරනු ලැබූ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට සිර දඬුවම් නියම විණි. යාපා පටුනේ සිරගත කරනු ලැබ සිටි උන්වහන්සේ 1821 අප්‍රේල් මාසයේදී නිදහස් කරනු ලැබූහ.

අවස්ථානුකූලව ඔවුන්ගේ පාලන ප්‍රයෝජනය සළකා වාරියපොළ හිමියන්ට සුදු ජාතිකයන් දඬුවම් කළත් උන්වහන්සේගේ උදාරත්වය ඔවුහු ද පිළිගත් හ. අගය කළහ. මේ නිසාම පසු කාලයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් උන්වහන්සේට දරාණේ විහාරයට හා ඊට අයත් ගම්බිම් පූජා කරන ලද බව ද අවසාන කාලය උන්වහන්සේ වැඩ සිටියේ එම විහාරස්ථානයේ බව ද කියනු ලැබේ.

වාරියපොළ සුමංගල ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකි. සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හා ස්වාධීනත්වය රැක ගැනීමට එඩිතර ව ක්‍රියාකළ ජාතික වීරවරයාණ කෙනෙකි. සිංහල ජාතියේත් ලංකා සම්බුද්ධ ශාසනයේත් සුරක්ෂිත භාවය හා චිර පැවැත්ම උදෙසා තම යුතුකම් කොටස මැනවින් ඉටුකර, සිංහල ජාතියේ මුර දේවතාවා භික්ෂූන් වහන්සේ ය යන්න ක්‍රියාවෙන් ඔප්පු කළ උදාර සංඝ පීතෘවරයෙකි.

උන් වහන්සේගේ ප්‍රධාන ගූණාංග නම්
1. ජාතිකානුරාගය
2. අවිහිංසාවාදී බව
3. අයුක්තිය අසාධාරණය නොඉවසීම
4. උදාර අරමුණක පිහිටීම
5. දුක් ගැහැට දරාගැනීම

(c) Shilpa Sayura Foundation 2006-2017