වාහන නවත්වා තැබීම
 

72. ඔබගේ වාහනය නවත්වා තැබීමට බලාපොරොත්තු වන සෑම විටකදීම ඔබට හැකි නම් වාහනය මාර්ගයෙන් ඉවත්ව සිටින සේ හෝ වෙන්කරන ලද වාහන නවත්වන ස්ථානයක හෝ නවත්වා තබන්න. රථ වාහන බහුල මාර්ගවල වාහනය නවතා තැබීමෙන් වළකින්න. රථ ධාවන මාර්ගයෙහි වාහනය නැවැත්වීමට ඔබට සිදුවේ නම්, වාහනය මාර්ගයේ වම් පැත්තේ අයිනට හැකිතාක් ආසන්නව හෝ ඊට සමාන්තරව රථ වාහන ගමන් කරන දිසාවට මුහුණ ලා සිටින සේ නවත්වන්න. අන් අයට සිදුවන අපහසුතාවය අවම වන ආකාරයට වාහනය නවත්වන්න.


73. වඩා යෝග්‍ය වාහන නැවැත්වීමේ ස්ථානයක් මාර්ග සංඥා මගින් දැක්වේ. ඒ ආකාරයට වාහනය නවත්වන්න.






74. ඔබ වාහනය නැවත් වූ පසු නවතා තැබීමේ තිරිංග අගුල් ස්ථීරව දමා, එන්ජිම ක්‍රියා විරහිත කරන්න. කිසිවකුගේ භාරයේ නොතබා වාහනය දමා යාමට ඔබ අදහස් කරන්නේ නම් හැකිතරම් සුරක්ෂිත ලෙස අගුල් දමා තබන්න. රථ නැවැත්වීම සඳහා ඇති ස්ථානයක ඔබගේ වාහනය ක්‍රමවත් පිළිවෙළකට අනුව නවතා තබන්න.


75. පහත දැක්වෙන ස්ථානවලදී ද වාහන නවත්වා නොතැබිය යුතුය.

* වංගුවකදී, කඳුමුදුනකදී, පාළමක් මතදී,
* මාර්ගය පටුවන ස්ථානයකදී හෝ මාර්ගයට අයත් අංගෝපාංගයක් හෝ වෙනත් යම් වාහනයක් හෝ ද්‍රව්‍යයක් නිසා මාර්ගයෙහි ඇති ස්ථානවලදී, පදික වේදිකාවක් මත,
* තනි හෝ ද්විත්ව සුදු ඉරි ඇතුළුවන මාර්ග සළකුණු පිහිටුවා ඇති ස්ථානවලදී, පදික වේදිකාවක් මත,
* බස් රථ ධාවන තීරුවක, පාපැදි ධාවන තීරුවක හෝ කුලී කාර් නැවතුම් පොලක.
* බස් රථ නැවතුමක සිට 30m ක දුර ප්‍රමාණයක් ඇතුළතදී,
* ගිනි නිවන ජල නලයක සිට 15m දුර ප්‍රමාණයක් ඇතුළතදී,
* පාගාමීන් මාරුවන ස්ථානයක, දගර ප්‍රදේශය හෝ එහි සිට 15m ඇතුළතදී,
* අධිවේග ධාවන තීරුවක් මතදී,
* යම් ස්ථානයකට ඇතුළුවීමේ දොරටුවක් හෝ ඉන් පිටවීමේ දොරටුවක් අසලදී. 


76. රාත්‍රී කාලයේදී නිතරම රථවාහන ගමන් කරන දිශාවට මුහුණලා සිටින සේ වාහනය නවත්වන්න. ඔබ වාහනය නවත්වන්නේ ප්‍රධාන මාර්ගයක නම් ඔබගේ නැවතුම් පහනක් දල්වා තබන්න.

77. වාහන නවත්වා තැබීම තහනම් කෙරෙන හෝ සීමාකෙරෙන සංඥාවක් අංක 45, 46, 47, 48, සහ 49 වන මාර්ග සළකුණු ලෙස උපලේඛණයේ දක්වා ඇත. මාර්ග සංඥා 51, 52, 53 මගින් අදාල සංඥාවලින් ආවරණය කෙරෙන දිශාව, ප්‍රදේශය සහ සීමාව දැක්වේ. සෑම විටම මේ උපදෙස් පිළිපැදිය යුතුය.

පසුපසට පැදවීම


78. වාහනය පසුපසට පැදවීමේදී, ඔබගේ පෙනීම අඩ වශයෙන් අවහිර වන බැවින් විශේෂයෙන්ම ප්‍රවේසම් වන්න. සුළු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය කරා කිසිවිටක පසුපසට නොපදවන්න. එමෙන්ම අවශ්‍යම ප්‍රමාණයට වඩා වැඩි දුරක් පසුපසට නොපදවන්න.


ආපදාවන් සහ හදිසි අනතුරු


79. ඔබගේ වාහනය ආපදාවකට හෝ හදිසි අනතුරකට භාජනය වුවහොත්, එය හැකිතරම් ඉක්මනින් මාර්ගයෙන් ඉවතට ගන්න. ඔබ හදිසි අනතුරකට භාජනය වූයේ නම්, මාර්ගයේ බාධකය මගහැරවීම පිළිබඳව සළකුණු කිරීම උචිතය.


80. ඔබගේ වාහනය මාර්ගයෙන් ඉවතට ගත නොහැකි බව හෝ ඔබගේ වාහනය අනෙක් වාහනවල ගමනාගමනයට අවදානමක් බව පෙනී ගියහොත් වාහනයේ ඇති නවතා තැබීමේ ලාම්පු හෝ වාහනයට අවදානම හැඟවීමේ ලාම්පු සවිකර තිබේ නම් එම ලාම්පු හෝ දල්වන්න. වාහනයේ සිට 50m ක් පිටුපසින් වාහනය කරා ළඟාවන රථ වාහනවලට මුහුණලා අවදානම හැඟවීමේ උපකරණයක් (රතු පැහැති පරාවර්තනය වන ත්‍රිකෝණයක්) තබන්න. එම ස්ථානයෙහි මාර්ගය පටු නම්, ඔබගේ වාහනයේ සිට 50m ක් ඉදිරිපසින් වාහන කරා ඉදිරියට එන රථවාහනවලට මුහුණලා තවත් අවදානම හැඟවීමේ උපකරණයක් තබන්න. රාත්‍රියේ දී ඔබගේ වාහනයේ නවතා තැබීමේ ලාම්පු හෝ අවදානම් හැඟවීමේ ලාම්පු දල්වා තබන්න.


81. වාහනය ආපදාවට පත්වූයේ හෝ හදිසි අනතුරට භාජනය වූයේ රථ ධාවන මාර්ගයේ දී නම්, අනෙකුත් රථවාහන පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. එවැනි අවස්ථාවකදී බාධකය ඇති ස්ථානයට 150m ක් ඉදිරියෙන් අවදානම හැඟවීමේ උපකරණය තබන්න. බාධකය එම ස්ථානයෙන් හැකි පමණ වේලාසනින් ඉවත් කිරීමට සෑම උත්සාහයක්ම දරන්න.

82. ඔබ ගමන් කරන වාහනය හදිසි අනතුරකට භාජනය වුවහොත් එම වාහනයේ පදවන්නා වශයෙන් ඔබ,

(අ) වාහනය වහාම නවත්වන්න.

(ආ) ඔබගේ නම සහ ලිපිනය, වාහනයේ අයිතිකරුගේ නම සහ ලිපිනය සහ වාහනයේ හැඳින්වීමේ අංකය යනාදි විස්තර පහත දැක්වෙන කවරෙකු විසින් හෝ ඉල්ලා සිටිය හොත් දෙන්න.

(1) යම් පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාමසේවක නිලධාරියෙකු,

(2) තුවාල ලබා සිටින ඕනෑම පුද්ගලයෙකු, හෝ

(3) තුවාල හෝ අලාභහානි සිදු වූ සත්ත්වයා හෝ දේපල අයිතිකරු හෝ භාරව සිටින යම් පුද්ගලයෙකු,


(ඇ) තුවාල ලැබූ පුද්ගලයෙකු විසින් ඉල්ලා සිටියහොත් හෝ සිහි නොමැතිව සිටියි නම් හෝ අනතුරෙහි ප්‍රතිඵල වශයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ ජීවිතය අන්තරාදායක තත්ත්වයක ඇති බව ඔබට හැඟේනම් හෝ වහාම ළගම ඇති රෝහලට ඔහු රැගෙන යන්න.


(ඈ) තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ගෙනයාම සම්බන්ධයෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් හැර අප්‍රමාදව අනතුර පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න.



(ඉ) යම් පුද්ගලයෙකු හට තුවාල සිදුවී ඇති අවස්ථාවකදී පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාමසේවා නිලධාරියා හෝ තුවාල ලැබූ පුද්ගලයා හෝ තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයෙකු හෝ ඉල්ලා සිටි විට රක්ෂණ සහතිකය හෝ ඇප සහතිකය ඉදිරිපත් කරන්න. එසේ කිරීමට ඔබ අසමත් වුවහොත් හැකිතාක් අප්‍රමාදව එය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන්න.


83. අනතුරකට භාජනය වූ මෝටර් වාහනයේ අයිතිකරු ඔබ නම්, අනතුර සිදුවූ වේලාවෙහි ඔබ එහි සිටියද, නොසිටියද ඕනෑම පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාමසේවක නිලධාරියා විසින් ඉල්ලා සිටි විට ඔබ සතුව පවත්නා වාහනයේ රියැදුරුගේ නම, ලිපිනය, විස්තර, පූර්ව තොරතුරු, පදිංචි ස්ථානය ආදී සියළුම කරුණු ඉදිරිපත් කළ යුතුය. අනතුර සිදුවු අවස්ථාවේදී වාහනයේ සිටි සෑම පුද්ගලයෙකු පිළිබඳවම ඉහත කී තොරතුරු ඉදිරිපත් කළ යුතුය.


84. ඔබ ගමන් කරමින් සිටි මෝටර් වාහනය අනතුරකට භාජනය වුවහොත්,

(අ) ඔබගේ නම සහ ලිපිනය
(ආ) වාහනයේ රියැදුරුගේ නම සහ ලිපිනය
(ඇ) වාහනයේ අයිතිකරුගේ නම, ලිපිනය සහ
(ඈ) වාහනයේ හැඳින්වීමේ අංකය, පහත සඳහන් අයෙකු ඉල්ලා සිටිය හොත් දිය යුතුය.
(1) යම් පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාමසේවා නිලධාරි
(2) තුවාල ලබා සිටින යම් පුද්ගලයෙකු හෝ.
(3) තුවාල හෝ අලාභහානි සිදුවූ සත්ත්වයා හෝ දේපල අයිතිකරු හෝ භාරව සිටින යම් පුද්ගලයෙකු,


85. තවද ඔබගේ නම සහ ලිපිනයද අනතුර සිදුවූ අවස්ථාවේදී ඔබ වාහනයෙහි සිටි බවද, ළගම පිහිටි පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරියාට අප්‍රමාදව දැන්විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017