යුරෝපීය ඉතිහාසය - ප්‍රංශ විප්ලවය 1789
දේශපාලන සමාජයීය සංස්කෘතික හා ආර්ථික පසුබිම හා ඉන් ඇතිවූ ප්‍රතිඵල
 
1789 දී ඇතිවුනු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයම දෙදරවාලූ හා ලෝක දේශපාලන සංකල්ප හා වින්තනයන් වෙනතකට හැරවීමට ප්‍රධාන වූ මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්තානයක් බව සිතිය හැක. එය හදිසියේ ඇතිවූ විප්ලවයකට වඩා කාලයක් තිස්සේ ක්‍රමයෙන් වැඩී ආ කරුණු වලින් ඇතිවූ සංසිද්ධියකි.

1799 නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලයට පත්වන තුරැ පැවති විප්ලවය මගින් එවකට ප්‍රංශයේ පැවති සියළුම දේශපාලන ආයතන අතුගා දැමිණ. විප්ලවයට පෙර ප්‍රංශයේ වූයේ රාජාණ්ඩුවකි.
එකල්හි මධ්‍යතන යුරෝපීය සමාජ ක්‍රමය හැඩ ගැසී තිබුනේ වැඩවසම් ක්‍රමයකටයි. රජු සමාජයේ නායකයා වූ අතර පල්ලිය හා පූජකවරු ප්‍රථම ප්‍රජා ගණය ලෙසද ඉඩම් හිමි වංශාධිපතියන් දෙවන ප්‍රජා ගණයටද පොදුජනයා ප්‍රථම ප්‍රජා ගණය ලෙසද සමාජය බෙදා තිබුනි. දේශපාන වශයෙන් රජු ප්‍රමූඛ උසස් වංශාධිපතියන්ට හා උසස් පූජකයින්ට සියළු වරප්‍රසාද හිමිවිණ පාලන ක්‍රමයක් පැවතිණි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ත්‍රිවිධ බල රජු සතුව පැවතිණි.
1. විප්ලවයට පෙර ප්‍රංශ සමාජය
2. විප්ලවයට පෙර ප්‍රංශ දේශපාලන තත්වය
3. ප්‍රංශ විප්ලවය බලපෑ ආර්ථිකමය හේතු
4. ප්‍රංශ විප්ලවයට බලපෑ බුද්ධිමය ප්‍රබෝධය
5. ප්‍රංශ විප්ලවයේ ආරම්භය
6. මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනය
7. ප්‍රංශ විප්ලවයේ විකාශණය
8. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල
9. ප්‍රංශ විප්ලවය යුරෝපීය බලපෑම
10. ඔබේ අදහස්

නිර්මාණය ඊ ෆියුශන් ශිල්ප සයුර ව්‍යාපෘතිය 2006
 

 

1. විප්ලවයට පෙර ප්‍රංශ සමාජය
 
ඉහලට

ප්‍රථම ප්‍රජාගණය

ප්‍රංශයේ වගාකල බිම් පහෙන් එකක් අයිතිව තිබුණේ පල්ලියටය. ප්‍රංශ පල්ලි පාලනය කළ ආච් බිෂොප්, බිෂොප් සහ ඇබට් වරුන් වැනි ප්‍රධාන පෙළේ පූජකයින්ට ආණ්ඩුව කෙරහි බලපෑම් කිරීමට හැකිවී තිබුණි. පල්ලිය සියළුම බදු වළින් නිදහස් වූ අතර ඔවුන් වංශාධිපතිවරැන් සමග රාජාණ්ඩුවට සහය දැක්වූහ. උසස් පංතියේ හා පහල පංතියේ පූජකයින් දෙවර්ගයක් සිටි අතර උසස් පංතියේ පූජකයෝ අධ්‍යාත්මික අංශයෙන් කිසිවක් නොකල වරප්‍රසාද ලත් කොටසක් විය.

පල්ලිය ජනතාවට ප්‍රජා සේවය වෙනුවෙන් 'තීද්' නම් බද්දක් අය කළ අතර ඉගැන්වීම සඳහා ආගමික මධ්‍යස්ථානය පවත්වාගන ගිය පහළ පන්තියේ පූජකවරු ඉතා දුක්ඛිත ජීවිත ගත කළහ.  පහල පංතියේ පූජකයෝ මහජනතාවගේ ආගමානුකූල දිවිපෙවෙත සැකසීමේලා ද උදව් වූහ.

දෙවන ප්‍රජාගණය

දෙවන ප්‍රජාගණය වූ වංශාධීපතීන්ට අයත් පවුල් 80000 ක් පමණ ප්‍රංශයේ සිටියහ. රිචලියු ගේ පාළන සමයේ සිට ප්‍රංශයේ වැඩවසම් ක්‍රමය පරිහානියට ලක්ව තිබුණු මුත් ඔවුනට බදු නොගෙවා සිටීම, ප්‍රංශ පරිපාලන රටාවේ ඉහල තනතුරුවලට පත්වීම සහ ගොවීන්ගෙන් අයකළ විවිධ වැඩවසම් දීමනා මගින් විශාල ආදායමක් උපයා ගනිමින් විවිධ වරප්‍රසාද රැසක් භුක්ති වින්දහ.

මෙම රදළ ක්‍රමය පරපුටු පිළිලයක් බවට පත්වූ අතර වංශාධිපතිවරන්ගේ සුඛෝපභෝගී ජීවිත වලට තමන් නිකරුනේ බදු ගෙවන බවට හැඟීමක් ගොවි ජනතාව තුළ වර්ධනය වෙමින් පැවතුණි.


තුන්වන ප්‍රජාගණය
තුන්වන ප්‍රජාගණය ගොවීන්, ශිල්පීන් හා මධ්‍යම පාන්තිකයෝ වූහ. උගත් මධ්‍යම පන්තිය වෙළෙදුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් හා නීතිඥයින් ගෙන්ද සමන්විත වූ අතර ප්‍රංශ සමාජ විශමතා සහ ඒකාධිපති රාජාණ්ඩුව විසුන් අයකරන අසාධාරණ බදු කෙරෙහිද ඔවුනට මනා අවබෝධයක් තිබිණි.













ප්‍රංශ විප්ලවය ආරම්භ කිරීමේලා ප්‍රධානතම බලවේගය සැපයුනේ මෙවුන් ගෙනි. ගොවි ජනතාව නිරතුරුවම වංශාධිපති රදළයින්ගේ ගැහැටට ලක් උණහ. ගොවීන් හා ශිල්පීන් ගතකලේ ප්‍රවෙණි දාසයන් මෙන් ඉතාම දුක්ඛිත ජීවිතයකි.

ඔවුන් දවස පුරා ගොවිබම් වල හා කර්මාන්තයන් වල වැඩ කළද ගෙවීමට වූ අධික බදු නිසා උපයන යමකින් ඉතිරි වූයේ ඉතා සුළු ප්‍රමාණයකි. ආහාර මිළ අධික වීම සහ හිඟකම ඔවුන් මුහුණ පෑ තවත් ප්‍රශ්නයකි. ඔවුන් නිතිපතා බදු එකතු කරන්නන්ගේ පීඩාවට භාජනය වූවෝය.

ප්‍රංශ අධිකරණ ක්‍රමයට අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට නීතී මාලාවන් දක්නට ලැබුණු අතර නීතියේ කිසිම සමානතාවයක් කිසිසේත් නොතිබුණි. අධිකරණ උසාවි ගණනාවක්ම තිබූ අතර ඒවා වංශාධිපතියන්ගේ අයිතුවාසිකම් රැකීමට යොදාගැණි. විනිශ්චයකින් තොරව මිනුසුන් මරණයට පත්කිරීමටත්, සිර කරතැබීමටත් හැකිවූ අතර රදළයින් මෙම උසාවිවල වරප්‍රසාද ලත් විනිශ්චය කරුවන් වූහ. දේශපාලන වරප්‍රසාද හැර අන් සෑම බලයක්ම රජ මාලිගයේ වංශාධිපතීන්, දිසා භාර වංශාධිපතීන්, ප්‍රදේශ වංශාධිපතීන් ආදී කොටස් අත විය. වංශාධිපතියන් ඉඩම් හිමිකරුවන් වූ අතර ගොවි ජනතාවගේ ශ්‍රමය සූරා කෑ පිරිසක් බව හැඳින්විය හැක.

ඉහලට

 

2. විප්ලවයට පෙර ප්‍රංශ දේශපාලන තත්වය

ඉහලට


14 වන ලුවීගේ මරණයෙන් 1715 දී ප්‍රංශයේ අසහාය රාජාණ්ඩු බලය අවසන් විය. ඉන් පසු ප්‍රංශයේ රජ වූයේ ඔහුගේ පස් හැවිරිදි මුණුපුරුය. 15 වන ලුවී රජ කාලයේ ප්‍රංශය විවිධ යුද්ධ ගණනාවක පැටළුනි.

ඕස්ට්‍රියා කිරුළ සඳහා කළ සත් අවුරුදු යුද්ධයට විශාල මුදලක් වැයවූ අතර ප්‍රංශයට තම යටත් විජිතයද අහිමිවිණි.

ගොවි ජනතාව වෙත බදුබර පැටවූ 15 වන ලුවී රජ "මගෙන් පසුව කල්පාන්තයයි" යි කියමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය. රටේ ප්‍රශ්න ගැන ඇමතිවරුන් සමග සාකච්චා කිරීම මගහැර උසස් පදවි සඳහා තම හිතවතුන් පත්කර රාජ්‍ය පාලනය ද අවුල් කළේය. යුද්ධය නිසා ප්‍රංශ භාණ්ඩාගාරය හිස්වූ නුමුත් ඔහු ඒ ගැනද සැලකිල්ලක්ද නොදැක්වීය.



 කතා කිරීමේ නිදහස හා ප්‍රකාශණ නිදහස මැඩ පැවැත්වූ ලුවී රජ පොදු ජනතාව පත්වී සිටි දුක්ඛිත තත්වයෙන් මුදවාලීමටද කිසිදු යහපත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළේය. ප්‍රංශ ආර්ථිකය මේ වනවිට ඉතාමත් පහත් තත්වයකට පත්වූ අතර අධිකරණ ක්‍රමයද කිසියම් න්‍යායාත්මක ලක්‍ෂණ නොගන්නා ලදි.

15 වන ලුවී රජුගේ අනුප්‍රාප්තිකයා වූ 16 වන ලුවී රජ රජවන විට විසි හැවිරිදිව සිටියේය. ඥාණවනත හා අභිප්‍රායන්ගෙන් යුක්ත වූ මුත් ප්‍රංශය පරිහානිය කරා ගමන් කිරීම වලක්වාලීම සඳහා කල යුතු බරපතල ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය එඩිතර ආත්ම ශක්තිය ඔහු කෙරේ නොවීය.
 

දහසය වැනි ලුවී රජ මාරි ඇන්ටොයිනෙට් බිසව

තම දේශපාලන තම බලතල ක්‍රියාත්මක කිරීමේ ලා දක්‍ෂයක‍ නොවූ 16 වැනි ලුවී රජ ඇමතිවරුන් ගේ ප්‍රශස්ති වර්ණනා හා ඕස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටොයිනට් බිසවගේ අවශ්‍යතා හා උපදෙස් අනුව ගත් තීරණවලින් ප්‍රංශයට කිසිදු යහපතක් සිදු නොවීය.

දහතුන්වන ලුවී රජුගේ කාලයේ සිට බුරබන් වංශයේ රජවරුන් විසින් 'ස්ටේට්ස් ජෙනරාල්' නම් ප්‍රංශ මන්ත්‍රණ සභාව වසර 175 ක් තිස්සේ නොකැඳවා රදළයින්ද දේශපාලන කාර්යයෙන් ඉවත් කර තිබූ බැවින් කිසිවෙකුගේ සහයක් හෝ අනුබලයක් 16 වැනි ලුවී රජුට නොලැබිණි. රජ සිය කැමැත්තට පාලනය ගෙනගිය රාජ්‍ය පාලනය ඉතාම දූශිත හා දුර්වල වී තිබුණි. පස් හැවිරිදිව රජවූ 14 වැනි හා 15 වැනි ලුවී රජ කල සිට මෙම තත්වය වර්ධනය වූවා යයිද සැලකිය හැකිය.

ඉහලට

 

3. ප්‍රංශ විප්ලවය බලපෑ ආර්ථිකමය හේතු

ඉහලට


ජනගහණයෙන් සියයට 92 ක් පමණ වූ ප්‍රංශ ගොවි ජනතාව ආර්ථික පීඩනයෙන් වෙලී සිටි අතර රදළයින්ට පූජක සභාවට සහ රජුට මුදලින් හා භෝග වලින් බදු ගෙවිය යුතු විය. රාජකීය වශයෙන් ඇඟ බද්දක් ද තිරිඟු බද්දක් ද ගැබෙල් නම් ලුණු බද්දක් ද ඉඩම් බදු ද ගෙවීමට සිදුවිය. දස භාගය නම් ආදායමෙන් 10% ක බද්දක් පූජක සභාවට ද ගෙවීමට ගොවි ජනතාවට සිදුවිය. විප්ලවයට ආසන්න සමයේ පූජක සභාවට ගෙවිය යුතු මෙම බද්ද 14% දක්වා වැඩි කරන ලදි.

ගැබෙල් නම් ලූණු බද්ද සඳහා රජු පළකල සිතියම මෙහි දැක්වේ. එහි ලූණු බදු ගෙවීම ලුණු ප්‍රමාණය , ලූණු මිළ හා ප්‍රදේශ මත ක්‍රියාත්මක විණි. සමහර ප්‍රදේශ ලුණු බද්දෙන් නිදහස් විය.
      

මෙම නිසා ලුණු වෙළදාම ජාවාරම් කාරයින් අතරට පත්වූ අතර දූෂිත රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ට සහය ලබා දුණි.

තවද ප්‍රංශ ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වූයේ බදුඑකතු කිරීමේ අයිතිය වෙන්දේසියෙන් මිලට ගත් බදුකරුවන්ගේ හිංසා පීඩා වලට ගොදුරුවීම සහ ගෙවිය යුතු බදු වලට වූ අවිනිශ්චිත භාවය නිසාය.
 





1786 දී ප‍්‍රංශය හා එංගලන්තය අතර ඇතිවූ ඊඩින්හි ගිවිසුමෙන් ප්‍රංශ වෙළඳ පොළට තීරු බදු රහිතව එංගලන්ත භාණ්ඩ ලබාගත හැකිවීම නිසා ප්‍රංශ ගෘහ කර්මාන්ත පිරිහුන තත්වයක් ඇතිවිය. ප්‍රංශ තීරු බදු හා මූල්‍ය ප්‍රතිපත්ති සැකසී තිබුණේ කිසිම ක්‍රමයකට නොවූ අතර මැනුම් හා කිරුම් මිනුම් ද ක්‍රමවත් නොවිණි.



ඇමරිකානු සිවිල් යුද්ධයට මුදල් හා සේනා සැපයීම නිසා ප්‍රංශ භාණ්ඩාගාරය ෆෑන්ක දස ලක්‍ෂ හාරසියයක් ණය වී තිබුණි. නියඟයකින් ප්‍රංශ කපු පිළි කර්මාන්තය පිරිහීම නිසා ඇතිවූ රැකියා අහිමි වූවන් පිරිසක්ද ඇතිවී ප්‍රංශ ජනතාව ඉතාමත් අසහනයට පත්ව සිටියහ.



ප්‍රංශ ආර්ථිකය මෙතරම් දුබල වී තිබියදී ගොවි ජනතාව මත තව බදුබර පැටවිණි. ටර්ගෝ නම් එවකට ප්‍රංශ මුදල් අමාත්‍යවරයා පිරිහී ගිය ආර්ථික තත්වයට පිළියමක් ලෙස වංශාධිපතීන්ගෙන්ද ද බදු අයකර ගැනීමට යෝජනා කළමුත් ඔහුට ඒ නිසාම ඉල්ලා අස්වන්නට සිදුවිය.

ප්‍රංශ දේශපාලනික ආර්ථික හා සමාජීය පරිහානියට හේතුවූ මෙම දුර්වලතා උසස් පංතිය ලෙස ගැනුණු රජ වංශාධිපති හා පූජක කොටස් වල ක්‍රියාකලාපයන්ගෙන් තවත් උත්සන්න වීය. ආර්ථික තත්වය කෙතරම් පිරිහුනද කිවහොත් බදු වලින් මිදීමට, ඉඩම් ලබාගැනීමට, රැකියා ලබාගැනීමට, වංශාධිපතීන්ගේ වරප්‍රසාද නැති කිරීමට යන මේ සෑම කරුණක් සඳහාම ප්‍රංශයේ පහත් යය් සැලකුණු ගොවි ජනතාව පෙත්සම් මගින් රජුට කරුණු කියා සිටියහ.



ප්‍රංශ විප්ලවය ආසන්නයේදී ජනතාව තමන්ට කෑමට පාන් නැතැයි කී විට ප්‍රංශ රජුගේ බිසව ඔවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බව කියවේ. ප්‍රංශ මධ්‍යම පංතිය දියුණු වෙමින් සිටි කොටසක් වූ අතර ඔවුන් මුදල් අතින් ධනවත් වූවද ඒවා ආයෝජනය කිරීමට ක්‍රමයක් නැතිව සිටි පිරිසක් බව පෙනේ. ඔවුන් මුදල් යෙදවී නම් ඒ ප්‍රංශ භාණ්ඩාගාරයේ අයවැය හිඟය මකාලීමටයි.

විප්ලවය ආසන්නයේ තමන් යෙදවූ මුදල් වලට පොළී නොලැබීම නිසා ඔවුන්ද මුදල් ආයෝජනය කිරීමේ කටයුතු වලින් ඉවත්ව නිහඬ වූ අතර පවතින දේශපාලනික හා ආර්ථික, සමාජික ක්‍රමවලට එරෙහි විය යා හැකි නම් එවැනි අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිය බව කිව හැකියි.


http://chnm.gmu.edu/revolution/allfr.html


ඉහලට

 

4. ප්‍රංශ විප්ලවයට බලපෑ බුද්ධිමය ප්‍රබෝධය

ඉහලට


ප්‍රංශ විප්ලවයට දශක පහකට පමණකට පෙර සිටි ප්‍රංශ චින්තකයන්ගේ අදහස් ද සමාජයේ තිබූ වැරදි හොවා දක්වන්නට උපයොගී වූවා යයි කීම ද නිවැරදිය. 1718 කාලයේ ජීවත් වූ ලෝක ප්‍රසිද්ධ ලේඛකයකු හා විවේචකයකු වූ වෝල්ටෙයාර් නිරතුරුවම ඉතා කටුක එහෙත් සිතට කාවදින ලෙස රජු , පල්ලිය හා වංශාධිපතීන්ගේ ක්‍රියා විවේචනයට උපහාසයට හා සමච්චලයට ලක් කළේය.  ඔහුගේ සමච්චල් තියුණු යුධ ආයුධ වළට වඩා සැර වූ බව උගතුන් කියති.

A witty saying proves nothing."

"Every man is guilty of the good he didn't do."

"Holy Roman Empire was neither holy, nor Roman, nor an empire."

"You know that these two nations are at war over a few acres of snow near Canada, and that they are spending on this little war more than all of Canada is worth."

"In this country, from time to time, we like to kill an admiral, to encourage the others"

"If God did not exist, it would be necessary to invent him."

"If you want good laws, burn those you have and make new ones."

ඔහුගේ ප්‍රසිද්ධ කියමන් කිහිපයකි

මොන්ටෙස්කියු

1659 සිට 1755 දක්වා ජීවත්වූ මොන්ටෙස්කිය මැග්න කාර්ටා ගිවිසුම පරිදි එංගලන්තයේ ක්‍රියාත්මක වූ ආකාරයේ ව්‍යවස්ථානුකූල රාජාණඩු ක්‍රමයක් ප්‍රංශයේද පිහිටවනු දැකීමට කැමති විය.

ඔහු
"නීතියේ භාරය" නම් කෘතිය මගින් සිය අදහස් ප්‍රකාශ කළ අතර ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය එකිනෙකට වෙන්වූ අංශ තුණක් මගින් ආණ්ඩුවේ බලය ක්‍රියාත්මක කළ යුතු බව කියවෙන "බල වෙන්කිරීම" පිළිබඳ න්‍යාය එමගින් ඉදිරිපත් කළේය. එම අදහස ක්‍රියාත්මක කිරීමෙන් දූෂිත රාජාණ්ඩු අහෝසි වී යන බවටත් පුද්ගලයාගේ නිදහස ආරක්‍ෂා වන බවටත් මොන්ටෙස්කියු තර්ක කළේය.

එම අවධියේ ප්‍රංශයේ බිහිවූ දාර්ශනිකයින් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස සැළකෙන
ජීන් ජැක්විස් රූසෝ සමූහාණ්ඩුවක් පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින් ලියූ "සමාජ සම්මුතිය" නම් ග්‍රන්ථයෙන් රජු හා ඔහුගේ යටත් වැසියන් එක්තරා සම්මුතියක පාර්ශ්ව කරැවන් බව ද, ඒ නිසා රජු යටත්වැසි ජනතාවගේ කැමැත්තට අනුකූලව පාලනය නොකරන්නේ නම් ඔහුගේ රජකම අහිමිවන බව ද, එවන් වාතාවරණයක් තුළ රජු නෙරපා දැමීමට සම්පූර්ණ අයිතිය ජනතාවට ඇති බවද පෙන්වා දුන්නේය.

මහජන පරමාධිපත්‍ය පිළිබඳ ඔහුගේ අදහස් අනුගාමිකයින්ට කෙතරම් ජීවයක් ලබාදුන්නාදැයි කිවහොත් ඔවු පීඩාකාරී රාජාණ්ඩුවට එරෙහිව කැරැලි ගැසීමට පවා සූදානම් වූහ.

එවකට දැනුම එකතු කර විශ්ව කෝශයක් සකස් කළ ඩෙටොරිට් ප්‍රංශ පාලනයේ තිඹු දූශිත මෙනම අබලන්ව පැවති ප්‍රංශ පාලනයේ දුර්වලතා රැසක් පෙන්වා දෙමින් එයට ප්‍රතිකර්ම ලෙසින් ප්‍රංශයට සුදුසු අළුත් ක්‍රියාමාර්ග රැසක් යෝජනා කළේය.

පීඩාවෙන් සිටි ජනතාව නිදහස පතා නගා සිටුවීමට මෙම චින්තකයන් ගේ මත උපයෝගී වූ අතර ඇත්තෙන්ම තම පාලකයා කෙබඳු විය යුතුද ? ඔහුගෙන් සමාජයට සිදුවිය යුතු සේවය කුමක්ද ? යන කරුණු සාකච්චාවට භාජනය වූ අතර සමානාත්මතාවය හා පෞද්ගලික නිදහස පිළිබඳ සිතිවිලිද ප්‍රංශයේ ඇතිවූ බව පෙනේ.

මේ අතරම ඇමරිකානු සිවිල් යුද්ධයට සහභාගී වූ ප්‍රංශ සොල්දාදුවන් යළි ප්‍රංශයට පැමිණ විප්ලවීය බීජ ප්‍රංශය පුරා පැතිරවන්නට පටන්ගත්හ.

ඉහලට

 

5. ප්‍රංශ විප්ලවයේ ආරම්භය

ඉහලට


ප්‍රංශ විප්ලවය ඇවිලූ හේතු වශයෙන් ප්‍රංශ භාණ්ඩාගාරය හිස්වීම, රජු අවසානයේ බදු ලැබීම සඳහා කුමක් කළ යුතුද පිරික්සීමට ප්‍රභූන්ගේ සභාව කැඳවීම සහ වංශාධිපතීන්ගෙන් බදු අය කරගැනීම සහ ඔවුන්ගේ විරෝධයට ලක්වීම සහ අවසානයේ වසර 175 ක් රැස්වී නොතිබුණු "ස්ටේට්ස් ජෙනරාලය" කැඳවීමද දැක්විය හැකිය.

ප්‍රංශ භාණඩාගාරය හිස්වීම නිසා රජ මාලිගාවේ නාස්තිකාර වියදම් අඩුකිරීමටද ලුවී රජ බිසව හා රජුගේ උපදේශකයෝද ඉඩ නොදුන්හ. රජුට මුල්‍ය උපදෙස් ලබා ගැනීමට පත්කල 'ටර්ගෝ' නම් අමාත්‍යවරයා වංශාධිපතිවරුන්ගෙන් බදු අයකළ යුතු යයි කළ යෝජනාව ගෙන ආ අතර රජ බිසවගේ උපදෙස් පරිදි රජ විසින් ඔහුව සේවයෙන් පහ කරන ලදි. හමුදාවට වේතන ගෙවීමට පවා රජු අසමත් වූ අතර ඉතා දරුණු ශීත කාලයක් ආ හෙයින් සාගත තතවයක් හා දරුණු ආහාර හිඟයක්ද ප්‍රංශයේ ඇතිවිණි.



රාජ සභිකයින් විසින් දෙන ලද උපදෙස් අනුව රජු විසින් කළ යුතුදේ සාකච්චා කිරීමට 'ස්ටේට්ස් ජෙනරල්' සභාව කැඳවිණි. එහිදී රජු එක් එක් ප්‍රජාගණයේ අදහස් වෙන වෙනම ලබා ගැනීමට ප්‍රයත්න දැරීය. නමුත් තුන්වන ප්‍රජා ගණය වූ පොදු ජනතාව විසින් පත් කළ හයසියයක පමණ නියෝජිතයින් කියා සිටියේ ප්‍රශ්න පොදුවේ සාකච්චා කිරීම පිණිස සියල්ලෝම එක ස්ථානයකට රැස් කරණ මෙන්ය.

ප්‍රජා ගණ මෙන් නොව පුද්ගලයින් වශයෙන් ඡන්දය විමසිය යුතු බවට කවුන්ට් මිරබෝගේ නායකත්වයෙන් යුතු ජනතාව උද්ගෝෂණය කළහ. රජු එයට එකඟ නොවීම නිසා අනෙක් ප්‍රජාගණ දෙකට අයත් නියෝජිතයින් කිහිප දෙනෙකුද සමගද අසල ටෙනිස් පිටියකට රැස්වූ තුන්වන ප්‍රජාගණයා අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර අවසාන වනතුරු නිවෙස් බලා නොයන වගට සම්මුතියකට බැඳී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබාදෙන තුරැ විසිර නොයාමට ගිවිස ගත්හ. එය 'ටෙනිස් පිටියේ දිව්රුම' ලෙස හැඳින්වේ.



පසුව ඔවුන්ට ආරංවි වූයේ රජු විසින් 'ස්ටේට්ස් ජනරාල්' සභාව විසුරුවා හරින්නට කටයුතු කරන බවයි. එයින් කුපිත වූ ජනයා ප්‍රංශ රජුගේ ඒකාධීකාරීත්වයේ සංකේතය වශයෙන් සැළකුණ මධ්‍යකාලීන අවධියට අයත් බලකොටුවක් වැනි බන්ධනාගාරයට පහරදී 1789 ජූලි 14 දින එහි ආරක්‍ෂක භටයින් මරා දේශපාලන සිරකරුවන් නිදහස් කළහ.

විප්ලවවාදීන් විසින් පැරීසියේ සිටි රාජකීයන් පලවා හැරීම නිසා රජුගේ බලය තවත් දුර්වල විය. විප්ලවවාදීහු රජ මාලිගයට වැදී රජ බිසව ඇතුළු රාජකීයයන් අඩංගුවට ගත්හ.
 


රජුට හා බිසවට මාලිගය අතහැර යාමට නොදී එහි වාසය කිරීමටද බල කෙරුණි. රජුගේ හමුදා සමග ගැටීම නිසා ජනතාව තවත් කෝප වූවෝය. ඉන් රට පුරා කැරළි ඇති විය.
 


කැරැල්ල තව දුරටත් පැතිර ගියේ වැඩි වන පාන් මිල නිසා. සේවකයෝ කර්මාන්තශාලා වල උද්ගෝෂණය කරන්නට පටන් ගත් අතර ඒවා මැඬ පැවැත්වීමට උත්සාහ ගත් සොල්දාදුවන්ටද පහර දුණි. කැරැල්ල පැරීසියෙන් පිටතටද ව්‍යාප්ත වී ගොවි ජනතාවද ඉඩම් හිමියන් සමඟ ගැටුනහ. මෙම ගැටුම් වලට කාන්තාවන් රැසක් සහභාගී වූ අතර, ඔවුන් රජු වාසය කළ වර්සේල්ස් මාලිගය වටකර පාන් ඉල්ලා කෑ ගැසූහ.

  

ප්‍රංශ විප්ලවය කාලයක් තිස්සේ විප්ලවයකට තුඩුදුන් කරුණු එක්වීමෙන් පරම්පරා ගණනක සිට පෝෂණය වූ සිදුවීමක් ලෙස 'ටොක්වෙල්' නම් ප්‍රංශ ඉතිහාසඥයා පවසයි. මේ අනුව 1789 ප්‍රංශ විප්ලවය ජනතාව එකහෙලා එක් පසක් ගෙන පාලකයන්ට විරැද්ධව කළ ලබාගත් මහත් ජයග්‍රහණයක් බව ද පෙන්. එහි ප්‍රථම අංගය 1789 දී පැරිස් බන්ධනාගාරය වූ බැස්ටීලයට කළ පහර දීමයි.

ඉහලට

 

6. මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනය

ඉහලට


1789 අගෝස්තු 27 දින 'ස්ටේට් ජෙනරල්' සභාව විසින් සෑම අයිතිවාසිකමක් පිළිබඳව මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනයක් නිකුත කෙරිණි. පෞද්ගලිකත්වය, දේපල අයිතිය, ඇදහීමේ නිදහස යනාදිය එම පණත මගින් තහවුරැ කිරිණ.

මිනිසුන් නිදහස්ව උපදින හා සමාන බවද,

දේශපාලනය මිනිසාගේ යහපත පිණිස බවද,

කිසිවෙකු ජාතිය සතු නිදහස් භාවය පිළිබඳව අධිකාරියක් නෝලබන බවද,

කෙනකුගේ නිදහස අන් අයකුට බාධාවක් නොවිය යුතු හා නිදහසේ සීමාවන් නියම කිරීම නීතිය සතු බවද,

සියළු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන බවද,
කිසිවකු නීතුයට පිටින් අත්අඩංගුවට ගත නොහැකි හා නීතියට පිටින් දඬුවම් නොලැබිය යුතු බවද, නීතියෙන් තීරණය කරනතුරු කිසිවකු වරදකරුවකු නොවන බවටද ,

නිදහස්ව ආගමික හෝ සාමාජික අදහස් දැරීමට ඇති අයිතියත්, භාෂණ හා ප්‍රකාශන නිදහසත්, යමෙකුගේ පෞද්ගලික ආරක්‍ෂාවට ඇති අයිතියත් , පුරවැසියාගේ ආදායම අනුව බදු අයකල යුතු බවත්, රාජ්‍ය නිළධාරීන් පාලනය ගැන සමාජයට වග කිව යුතු බවත් ආදී කරුණු 17 කින් එය සමන්විත විය.

ජාතික මන්ත්‍රී මණ්ඩලය විසින් රදළ ක්‍රමය අහෝසි කරමින් උසස් පන්තියේ ජනයා පහත් පන්තියේ ජනයා පෙලීම නීති විරෝධී කරමින් පල්ලියේ හා වංශාඩිපතීනගේ විශේෂ වරප්‍රසාද අහෝසි කරමින්ද නීති සම්මත කෙරුණි. එහි රජුගේ බලතල බෙහෙවින් අඩුකොට තුබූ අතර නීති සම්පාදන බලය ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත පවරා තිබූ අතර එම මණ්ඩලය බදුගෙවන රටවැසියන් අතුරෙන් තෝරාගැනීමට කටයුතු යොදා තිබිණි.

රජු මෙම ව්‍යවස්ථාව පිළිගැණීමට කිසිසේත් කැමති නොවූ අතර එය අනුමත කිරීම හැර කළ යුතු දෙයක් නොවීය.



ඉන්පසුච 1791 දී ජාතික මණ්ත්‍රණ මණ්ඩලය මගින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලදි. මින් අදහස් කළේ අමාත්‍ය මණ්ඩලයක් හා නියෝජිතයින් 743 කින් යුත් මන්ත්‍රී මණඩලයක් ඇතිකොට එමගින් රටේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි. මෙම ආණ්ඩුක්‍රමය මොන්ටස්කියුගේ දේශපාලන සිද්ධාන්ත මත ගොඩ නැගුණු බව කියැවේ. එම ව්‍යවස්ථාවෙන් අදහස් කළේ සීමිත රාජාණඩුවක් පිහිටවීමයි.

මන්ත්‍රී මණඩලය ව්‍යවස්ථා සම්පාදක මණඩලක් මෙන් රැස්ව බ්‍රිතාන්‍යයට සමාන අයුරින් සීමිත රාජාණ්ඩුවක් ඇතිකර රාජ්‍ය බලය සීමා කර ව්‍යවස්ථා පැනවීමේ බලය අමාත්‍ය මණ්ඩලය සතු කෙරිණි. ඒවා නිශ්ප්‍රභා කිරීමට රජුට අවසර නොලැබිණි. ඒකීය බල මණඩලයක් වූ මෙම ප්‍රජා මණ්ඩලය මගින් නියෝජිතයින් තේරීමට ඡන්ද ක්‍රමයක් බිහිවිය. ආදායම අනුව චන්ද බලය ලබාදුන් මෙම ක්‍රමය නිසා ඉඩම් හිමි ගොවීන්ට පවා චන්ද බලය ලබාදුන මුත් කම්කරුවන්හට චන්ද බලය අහිමි විය.



ප්‍රංශයෙන් පළාගිය රදළයින්ගේ අදහස් වලට බලපෑමට යටවුනු ඕස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටොයිනට් බිසව හා ලුවී රජ සීමිත බලතල සහිත පාලනයකට රජු අකැමති වීම නව ව්‍යවස්ථාවේ අපේක්‍ෂා ඉටුකර ගැනීමට බාධක විය. රාජ්‍යත්වය සඳහා 'දේව වරම්' ලද්දකුට පාලනය හිමිවිය යුතු බව සැලකූ මධ්‍යතන යුරෝපීය තුල සීමිත බලතල සහිත රාජ්‍ය පාළනකට ඉඩක් ප්‍රස්ථා නොතිබුණි.

මන්ත්‍රී මණ්ඩලය ගිරොන්ඩින් හා ජැකබින් යන පක්‍ෂ දෙකකට බෙදුනුහ. ජැකොබින්වරු උග්‍ර අන්තවාදීන් වූ අතර ඔවුන් ඒකාධිපති පාලනයකට කැමති වූහ. මධ්‍යස්ථ මතධාරී ගිරොන්ඩින්වරුන්ගේ බලය මුල් විප්ලවයට නායකත්වය දුන් කවුන්ට් මිරාබෝගේ මරණය සමග හීන විය. මෙම භේදය නව ආණ්ඩුක්‍රමය අසාර්ථක වීමට හේතු විය. ප්‍රංශ ජනතාව මේ පිළිබඳව අප්‍රසාදයට පත්වූහ.





ප්‍රභූවරුන්ට විරුද්ධව ගම්බද කැරළි ගැසීම නිසා ඇතිවී තිබුණු තත්වයත්, ප්‍රංශ දේශසීමාවේ පිහිටි ඕස්ට්‍රියාව සමග ඇතිවීමට යන යුද්ධය හා උද්ගතවූ දේශපාලන තත්වයද මැද ලුවී රජු පලා යන්නට තැත් කල නමුදු අතර ඔහුව අල්ලා සිර කරන ලදි.



රජු සිරකිරීම නිසා ව්‍යස්ථානූකූල රාජාණ්ඩුවක්  ගොඩනැගීමේ ප්‍රයත්න දැරූ මධ්‍යස්ත මතධාරීන්ගේ අපේක්‍ෂා ඉන් අවසන් විය. මාරි ඇන්ටොයිනට් බිසවගේ සහෝදරයා වූ ඕස්ට්‍රියාවේ දෙවන ජෝසප් රජ ප්‍රංශ විප්ලවකාරීන්ට පහර දී ප්‍රංශයේ ඒකාධිපති ක්‍රමය නැවත පිහිටුවාලීමට හමුදාවක් එවීමට කටයුතු කළහ.



දුර්ව‍ල නියෝජිතයන්ව සිටි ගිරොන්ඩින්වරුන් වෙනුවට දක්‍ෂ හා ශක්තිමත් නියෝජිත පිරිසක්ව සිටි ජැකොබින් වරුන්ට යුද බලය පැවරුණි. මැක්සිමිලියන් රොබිස්පියර් නම් ජැකොබින් නායකයා 'ප්‍රංශයේ ජීවත් වීමට නම් ලුවී රජ මරණයට පත් කළ යුතුය" යි කියා 1792 දී 16 වන ලුවී රජ අධිකරණයට පමුණුවා රාජ්‍ය දෝහී චෝදනා ඉදිරිපත් කර වරදකරු කර පසුව ගිලටීනයට පමුණුවා මරන ලදි. අනතුරුව සීමාවකින් තොරව සෑම පුද්ගලෙයකුටම චන්ද බලය ලබාදෙන ලදි.

1793 -1794 දක්වා ගිරොන්ඩින් බලය හීන වී අන්තවාදී පිරිසක් වූ ජැකොබින්වරුන්ට බලය පැවරුණි. ගිරොන්ඩින් නායකයින් අත්අඩංගුවට ගත් රොබස්පියර් පාලනය තමන් නායකත්වය දැරූ 'මහජන ආරක්‍ෂක කමිටුව' නම් කමිටුවකට පැවරීය.

භීම සමය නම් ලද එම යුගයේ 'මහජන ආරක්‍ෂක කමිටුව' විප්ලව අධිකරණයක් පිහිටුවා රජ බිසව, රාජ පක්‍ෂපාතීන්ද,  විප්ලවයට විරුද්ධ වූ අයද, ගිරොන්ඩින් පාක්‍ෂිකයින්ද   හා තමනට විරුද්ධ සෑම අයකුම වරද කරුවකු කරවා ගිලටීනයට පමුණුවා හිස සිඳ මරා දමන ලදි.




මේ අනුව ජැකුවිස් ඩාන්ටන්, ජීන් පෝල් මැරටි හා රොබස්පියර් නම් එකිනකාට විරුද්ධ ජැකොබින් නායකයින් තිදෙනකු විසින් තමන් දිනාගත් නිදහස එකාධිපති පාලනයකට ගෙන යාම ප්‍රංශ ජනතාවගේ මහත් අප්‍රසාදයට හේතුවිය. මෙම කාලයේදී රාජාණඩුවට පක්‍ෂපාතීත්වය දැක්වූ පොදුජනතාව සහ ප්‍රභු වරුන් රැසක් ගිලටීනයට ගොදුරු කරනු දක්නට ලැබුණි.



තමන් ඉතා මහන්සියෙන් ලබාගත් නිදහස 'මහජන ආරක්‍ෂක කමිටුව' මගින් අන්තවාදී ඒකාධිපති
පාලනයට යොමුවීම ප්‍රංශ ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවීය. ඒ වන විට රොබස්පියර් ඇතුළු කණ්ඩායම විසින් දස දහස් ගණනක් මිනිසුන් ගිලටීනයට පමුණුවා ජීවිතක්‍ෂයට පත් කර තිබිණි.

 රොබස්පියර් ඇතුළු ජැකොබින් නායකයින් විනාශ කළ 'තර්මිඩෝරියන්' ප්‍රතිවිප්ලවය මගින් පස්දෙනෙකුගෙන් යුත් අධ්‍යක්‍ෂ මණ්ඩලයකට රට පාලනය භාර දෙන ලදි. 

ඉන් අනතුරුව  1794 -1795 කාලය තුල ප්‍රංශ විප්ලවයේ නිදහස් අයිතීන් රැකගැනීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට 500 ක නියෝජිත මණ්ඩලයක් හා වයස 40 ට වැඩි අයගෙන් යුත් උත්තර මන්ත්‍රී මණඩලයක්ද ලෙස ප්‍රජා සභාව ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකක් ලෙස රැස් කරන ලදි.




මෙම අධ්‍යක්‍ෂක මණ්ඩලය බලයට පත් වහාම ජනතාව දේශපාලනයෙන් ඈත් කර තැබීමට උපක්‍රම යෙදූහ. ඒ සඳහා ඔවුන් විදේශ රටව‍ල් සමඟ යුද්ධ කිරීමට ජනතාව පෙළඹවූහ. යුද්ධයට රට යොමුකිරීම නිසා කෝෂිකානු දූපතෙන් පැමිණි නැපෝලියන් බොනපාට් නම් දක්‍ෂ සෙනවියා
විසින් දකුණු ඉතාලි ප්‍රදේශයෙන් ඕස්ට්‍රියානුවන් පලවා හැරීම නිසා අධ්‍යක්‍ෂක මණ්ඩලයේත්
මහජන ප්‍රසාදයත් දිනා ගැනීමට මග පෑදුණි.

යුද්ධය වැදගත් වූකල රටක නියම බලතල අයත් වන්න හමුදා නායකයින්ටය. නැපෝලියන් තම හමුදාව දක්‍ෂලෙස මෙහෙයවා තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේය. 1799 දී කුමන්ත්‍රණයක් මගින් අධ්‍යක්‍ෂක මණ්ඩලය පහකළ නැපෝලියන් තිදෙනකුගෙන් යුක්තවූ කොන්සල් මණ්ඩලයක් මගින් ප්‍රංශය පාලනය කරන බව ප්‍රකාශ කළේය. නැපෝලියන් විසින් එහි නායකත්වය දැරීය.

ප්‍රංශයට ස්ථාවරත්වයක් උදාකර දිය හැකි නායකයකු ලෙස ජනතාව නැපෝලියන්ව පිළිගත් නිසා නායකයකු ඔවුන් ඔහුගේ සියළු කටයුතු අනුමත කළෝය.

1789 සිට විකාශණය වූ ප්‍රංශ විප්ලවයේ අවසාන අවස්ථාව නැපෝලියන් විසින් ප්‍රංශයේ ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම බව සිතිය හැක.

විප්ලවයේ දරුවා ලෙස තමන් හඳුන්වාගත් නැපෝලියන්ගේ 1815 දක්වා පාලන කාළය තුළ නව අධිකරණ නීති පද්ධතියක් සකස් කෙරුණු අතර, අධ්‍යාපනය, මූල්‍ය හා බැංකු සේවාද විධිමත් කෙරුණි.

ඉහලට

 

7. ප්‍රංශ විප්ලවයේ විකාශණය

ඉහලට


මේ නයින් බලන කල ප්‍රංශ විප්ලවය එක දිනකින් ගොඩනැගුණක් නොවන බවත් එය කාලයක් තිස්සේ පෝෂණය වී 1789 සිට 1799 දක්වා දස වසර තුල ප්‍රධාන අවස්ථා හතරකදී පෝෂණය වී නැපෝලියන් විසින් පිහිටවූ ඒකාධිපති වූවද එහෙත් ස්ථිර ආණ්ඩු ක්‍රමයකට මග පෑදු බවත්ය.

එම අවස්ථා හතර

1. 1789  දී බැස්ටීලයට පහරදීමෙන් පසුව ජනතාව ලුවී රජ හා එකඟව සීමිත රාජාණ්ඩුවක් පිහිටවා මණ්ත්‍රී මණ්ඩලයක් පත් කිරීම, මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය සම්මත කිරීම හා පසුව දහසය වැනි ලුවී රජ සිර කිරීම

2.  1792 -1793 දී නව මොනිටේකියුස්ගේ අදහස් පරිදි ව්‍යවස්ථාවක් සකසා චන්ද බලය පුලුල් කර ජනතාවට පෞද්ගලික නිදහස ලබාදීම හා ලුවී රජ අධිකරණයට පමුණුවා රාජද්‍රෝහී චෝදනා මත ගිලටීනයට පමුණුවා මරා දැමීම සිදුවිය.

3. 1793-1794 කාලයේදී විප්ලව අධිකරණය විසින් බිසව හා රාජකීයන් රාජ ද්‍රෝහීන් ලෙස ගිලටීනයට පමුණවා මරා දමා ජැකොබින් වරුන් විසින් මහජන ආරක්‍ෂක කමිටුව හා පොදු ආරක්‍ෂක මණ්ඩලයක් පිහිටුවා ගෙන ගිය ඒකාධිපති රොබස්පියර්ගේ පාලන සමය එනම් ප්‍රංශයේ භීම පාලන සමය

4. 1794 -1795 දී 'තර්මිඩෝරියන්' ප්‍රතිවිප්ලවය මගින් රොබස්පියර් ඇතුළු ජැකොබින් නායකයින් විනාශ කර අධ්‍යක්‍ෂ මණ්ඩලයකට රට භාරදී නව ව්‍යවස්ථාවක් සාදනය සහ මණ්ත්‍රී මණ්ඩල දෙකක් පත්කිරීම

යුදමය වාතාවරණය තුල නැපෝලියන් බලයට පත්වීම ප්‍රංශ විප්ලවයේ අවසාන අවස්ථාව ලෙස බව පෙනේ.

ඉහලට

 

8. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල

ඉහලට


ප්‍රාදේශීය වෙනස්කම් සහිත බලසම්පන්න මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප්‍රංශ විප්ලවය හේතු පාදක වූ අතර, ප්‍රංශ වැඩවසම් ක්‍රමය නැතිවීම හා සමාජ සමානාත්මතාවය ඇතිවීමට ද හේතු විය. පැරණි අසාධාරණ බදු ක්‍රමය නැතිවී සෑම අයකුම තම ආදායමට අනුව බද්දක් ගෙවන ලදි. රදළයින් හා පූජකයින් සතුවූ ඉඩම් සාමාන්‍ය ජනතාවට ලැබීම නිසා සුළු ඉඩම් හිමි මධ්‍යම පාන්තික ගොවි පන්තියක් බිහිවීමද ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයකි.

විප්ලවයේ පෙර ගමන් කරුවන් වූ ඔවුන් පසුව සමාජයේ වැදගත් බලවේගයක් බවට පත්වූහ. උපත මත නොව තම ධනය හා හැකියාව මත තත්වය තීරණය වන සමාජ ක්‍රමයක් කරා ප්‍රංශය යොමු විණි.

විප්ලවයට පසු ප්‍රංශයේ ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතිවීම නිසා කාර්මික හා න්‍යාය ක්‍රම සංවර්ධනය වී කර්මාන්ත, වෙළදාම, බැංකු ක්‍රම වල දියුණුවක් ද ඇතිවී යහපත් මුදල් තත්වයක්ද ඇතිවිය. තවද 'සහෝදරත්වය' යන විප්ලවීය සටන් පාඨයට අනුව ජාතියක් වශයෙන් නැගී සිටීමද ප්‍රංශ කීර්තිය නංවාලීමද සිදුවිය.

ප්‍රංශ විප්ලවයේ තේමාව වූ 'නිදහස සහ සමානාත්මතාවය' යන සටන් පාඨ වලට අනුව නූතන ලිබරල් පාලන ලක්‍ෂණ හා ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය වූ බව කිව හැකිය. යුරෝපයේ මෙන්ම ආසියාවේද ප්‍රජාතන්ත්‍රවාදී පිළවෙත් අනුගමනය කිරීමට පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන් පසුවයි. ප්‍රංශ විප්ලවයේ මතුවූ ඉතාම වැදගත් අදහස නම් ජනතා ස්වාධිපත්‍යයයි එනම් දේව වරම හෝ උපත අනුව නොව ජනතාවට තමන් කැමති පාලකයකු තෝරාගැනීමේ අයිතිය මහජනතාවට ලැබීමය.

ප්‍රංශ විප්ලවය යුරෝපය පුරා ඇතිවුණු බුද්ධි ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් මෙන්ම රජුන්ගේ අන්තනෝමතික හා අදූරදර්ශී පාලනය නිසා පීඩාවිඳි පොදු ජනතාව විසින් සම්පුර්ණ පාළන ක්‍රමයම වෙනස් කර තමන් කැමති පාලන රටාවක් සකසා ගැනීමට වසර දහයක් පුරා කළ විප්ලවයක් ලෙසද පෙනේ.

ප්‍රංශ විප්ලවයෙන් පසු මධ්‍යතන සමාජයේ මෙන් නොව පුද්ගලයාට තැනක් ලැබුණි. විප්ලවකාරී ලෙස කටයුතු කිරීමෙන් ඕනෑම ආණ්ඩුවක් පෙරළා දැමිය හැකි බව ජනතාව උගත්හ. ඒ අතරම සමූහාණ්ඩු ක්‍රමය පිළිගත් පාළන ක්‍රමයක් බවට පත්විණි. මෙම අදහස් ඉන් පසුව ලෝකය පුරා පැතිරිණි.



ඉහලට

 

9. ප්‍රංශ විප්ලවය යුරෝපීය බලපෑම

ඉහලට


ප්‍රංශ ජාතික මන්ත්‍රී මණ්ඩලය ප්‍රංශ වාසීන්ගේ පමණක් නොව සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් රැකීමට ඉදිරිපත්වන බව ප්‍රකාශ කිරීමද , ඕස්ට්‍රියාව, බෙල්ජියම ආදී පුජක වසම් හා රාජ්‍යත්ව පීඩාවට ලක්වූ අනිකුත් යුරෝපීය ජනයා ප්‍රංශය අනුව යාමට සුදානම් වීමද යුරෝපීය බලවතුන් කැළඹීමට හේතු විය. තවද ප්‍රංශ විප්ලවය නිසා පැන ගිය රදළවරුන් යුරෝපීය වැඩවසම් රාජ්‍ය වලින් ප්‍රංශ රාජ්‍යත්වය ආරක්‍ෂා කර දෙන මෙන් ඉල්ලා සිටීමද කළහ.

ප්‍රංශ විප්ලවයට පෙර යුරෝපය 1789



1792 දී 16 වැනි ලුවී රජ විසින් ගිරොන්ඩින්වරුන්ගේ නායකත්වයෙන් යුතුව අමත්‍ය මණඩලයක් පිහිටවන ලදි. ගිරොන්ඩින්වරුන් බලයට පත්වීම නිසා යුරෝපීය රජවරුන් විප්ලවයට බය වූහ. 1792 දී ඕස්ට්‍රියානු නෙදර්ලන්තයට පහර දුන් ගිරොන්ඩින්වරුන් ඕස්ට්‍රියාවට විරුද්ධව කටයුතු කළහ. ගිරොන්ඩින්වරු කෙතරම් බලවත් වීද කියතොත් ලුවී රජතුමා සිහසුනෙන් පහකර සිරකිරීමටද ඔවුන් ප්‍රබල වූහ. 1792 දී ඕස්ට්‍රියාව ප්‍රසියාව හා එක්වී රයින් ගඟ තරණය කර වර්ඩින් නගරය අල්ලාගන පැරිස් නුවරට ද පැමිණුනි.

ප්‍රංශ විප්ලවයට පසු යුරෝපය 1792

යුද්ධයට පැටලුණු ප්‍රංශයේ බලය ගිරොන්ඩින්වරුන්ගෙන් ගිලිහී දක්‍ෂ ජැකොබින් වරුන්ට හිමිවිය. ඔවුන් මිත්‍ර ආණඩුවල ඉදිරි ගමණ වෝල්ම්හිදී නවතා පෙරළා පහර දුන්හ. ප්‍රංශ හමුදා බෙල්ජියම, සැවෝයි හා නීස් ප්‍රදේශයද අල්ලාගන මධ්‍යම ගඟ ප්‍රදේශය අත්කර ගත්හ.

1792 සැප්තැම්බර් 21 දින ප්‍රංශය සමූහාණඩුවක් බවට ප්‍රකාශනයක් නිකුත් කොට විප්ලවකාරීන් විසින් ලුවී රජ මරණයට පත් කිරීම රාජාණ්ඩු වලින් පාලනය වූ මුළු යුරෝපයටම බලපෑවේය.

එංගලන්තය විප්වකරුවන් අතින් ලුවී රජ මරණයට පත් කිරීම අයුක්ති සහගත ක්‍රියාවක් ලෙස කල්පනා කළ අතර ප්‍රංශයට එරෙහිව ඔවුන් බෙල්ජියම ආක්‍රමණය කළහ. 1792 වනවිට ප්‍රංශය එංගලන්තය, ස්පාඤ්ඤය හා ඕලන්දයට විරුද්ධව යුධ ප්‍රකාශ කොට තිබිණි. යුරෝපා රාජ්‍ය හිමි රජුන් ඔටුනු පලන් සොරුන් ලෙස ප්‍රකාශ කළ විප්ලවකරුවෝ ඕලන්දයට හා බෙල්ජියමට ප්‍රහාර එල්ල කළහ.

එංගලන්තය හා ප්‍රංශය අතර 1793 දී ඇවිළුණු යුද්ධය 1801 දක්වා පැවතිණි. ඔවුන් බටහිර ඉන්දීය දූපත් වලද, මිසරයේද, සිරියාවේද, දකුණු අප්‍රිකාවේද සටන් කළහ. ප්‍රංශ විප්වකාරී හමුදා කෙතරම් බලවත් වීද යත් ඔවුන් එම සටන් පහසුවෙන් ජයගත්හ. බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් වැදුනද ප්‍රංශ විපලවකරුවෝ 1797 වන විට යුරෝපයේ අනිකුත් රාජාණ්ඩු නම්මාගන ඔවුන් සමට සාම ගිවිසුම් ඇතිකර ගැනීම සිදුවිය.
 


ඉහලට

 

10. විවිධ ක්‍රියාකාරකම්

ඉහලට


1. ප්‍රංශ විප්ලවය ආරම්භ වීමට තුඩුදුන් හේතු මොනවාද ?

2. ප්‍රංශ විප්ලවයේ ගමන් මග ගැන කෙටි විස්තරයක් කරන්න.

3. ප්‍රංශ විප්ලවය තුළ පහත අය වැදගත් වන්නේ කවර හෙයින්ද?
    XIV වැනි ලුවී රජ, මිරබෝ, රොබස්පියර්,නැපෝලියන්

4. විප්ලවය කළ ප්‍රංශ සමාජය කෙබඳුද ?

5. ප්‍රංශ විප්ලවය සඳහා බුද්ධිමය ප්‍රබෝධය සැපයූ ගත්කරුවො කවරහුද ?

6. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල මොනවාද ?

7. ප්‍රංශ විප්ලවය අවධියේ ආණඩුක්‍රම ව්‍යස්ථා සම්පාදනයන් හඳුන්වන්න ?

8. ප්‍රංශ විප්ලවය හා නූතන ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් කතාවක් පිළියෙල කරන්න.

ඉහලට 
 

නිර්මාණය ඊ ෆියුශන් ශිල්ප සයුර ව්‍යාපෘතිය 2006